kalutara-incident

සිය සහෝදරයාගේ අවසන් කටයුතු සිදුකරන මොහොතේදී කම්පාවට පත්ව දේහය අසලදී ඇද වැටී ඇති ඔහුගේ බාල සොයුරියක රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.
පෞද්ගලික ආයතනයක සේවය කළ කළුතර බෝපිටියවත්ත, 42 හැවිරිදි දෙදරු පියකු පපුවේ අමාරුවක් හේතුවෙන් ඉකුත් 10 වැනිදා මියයාමෙන් පසු 31 හැවිරිදි බාල සොයුරිය මෙලෙස කම්පාවෙන් මියගොස් තිබුණි.



සහෝදරයාගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටි මෙම බාල සොයුරිය එක්වරම ඇද වැටී තිබේ. අනතුරුව ඇය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙම සොයුරා සහ සොයුරිය බාල කාලයේ සිට ඉතා සමීපව ආදරයෙන් කටයුතු කළ අය බවත් අයියාගේ හදිසි අභාවය නංගීට දරාගන්නට බැරිව ගොස් ඇති බවත් පැවසේ. මරණය සිදුවූ අවස්තාවේ සිට අවස්ථා කිහිපයකදී සිහිසුන් වෙමින් ඇය කම්පිත මානසිකත්වයෙන් කටයුතු කළ අතර මියයාම සිදුවන්නේ අවසන් කටයුතු සිදුකරන්නට සූදානම්වූ අවස්ථාවේ ඇතිවූ කම්පනයෙන් පසුවයි.



මෙම සිදුවීම් වලින් පසු මියගිය පුද්ගලයාගේ දියණිය, පුතා, මස්සිනා සහ නැන්දා ද කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා විය.

මියගිය දුලංජනී සිල්වාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12 වැනිදා) කළුතර ශීක්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබූ අතර, ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය.

කළුතර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.