kandy-bus-woman

මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පොළේ දී බස් රථයක මගින් සෝදිසි කිරීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල මිරිකා ඇයට පහරදී තුවාල සිදුකළ බව කියන කාන්තාවක පලා ගොස් ඒ අසල පිහිටි වැසිකිළියක සැඟවී සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. තුවාල ලැබූ කොස්තාපල්වාරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පොලිස් කණ්ඩායමේ සිටි සැරයන්වරයකුගේද නිල ඇඳුමෙන් ඇද ඔහුට පහරදීමට උත්සාහ කළ බව කියමින් සැකකාරියගේ හිතවතකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.



උකුවෙල සිට මහනුවර පැමිණි කාන්තාවකගේ රුපියල් නවදහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් බස් රථයේදී කිසිවකු විසින් සොරා ගන්නා ලදැයි ඇය මහනුවර  මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලක් මත එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් පරික්ෂකවරියක ඇතුළු කණ්ඩායමක් වහා එහි ගොස් බස්රථයේ මගීන් එකිනෙකා වෙන වෙනම පරික්ෂා කර අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අත්බෑගය පරීක්ෂා කිරීමට යෑමේදී එම කාන්තාව කොස්තාපල්වරියගේ ගෙල මිරිකා ඇයට පහරදී තුවාල සිදුකළ බව එම උසස් පොලිස් නිලධාරියා කීවේය. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මහනුවර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් මේ පිළිබද පරික්ෂණ පවත්වයි.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය