kandyan-nuslim-below-18-age-marriage

බාලවයස්කාර දරුවන්ට දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව විවාහ වීමට ඉඩ සලසන උඩරට විවාහ සහ දික්කසාද පනතේ විධිවිධාන ඉවත් කිරීමට රජය යෝජනා කර තිබේ.
ඒ අනුව විවාහ වීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 18 බවට පත් කිරීමට පනත සංශෝධනය කිරීමට නියමිතයි.


එම විධිවිධාන අහෝසි කිරීමට අවශ්‍ය උඩරට විවාහ සහ දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත දැන් ගැසට් කර ඇත. සියලුම පුරවැසියන් සඳහා විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 බවට පත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගැනීමත් සමඟ මෙය සිදු වේ.
මේ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අවම වයස අවුරුදු 18 බවට පත් කිරීමට ද එකඟතාවකට පැමිණ ඇති අතර අධිකරණ අමාත්‍යාංශය මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.
වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයකුගේ විවාහ මංගල්‍යයට මග සලසන අසත්‍ය ප්‍රකාශ අත්සන් කරන්නන්ට දඬුවම් ලබාදීමට ද නීති සංශෝධනය කිරීමට නියමිතය.



උඩරට විවාහ නීතිය  මධ්‍යම පළාත, උතුරු මැද පළාත,  ඌව පළාත,  සබරගමු පළාත, උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ, නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව,  වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව යන ප්‍රෙද්ශ වලට අදාළය. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම අවශ්‍ය බව උඩරට විවාහ නීතියේ දක්වා ඇතත් දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව බලවයස්කාරයන් විවාහකරදීමේ කොන්දේසි ඇතුළත් විය. නව සංශෝධන මගින් එම කොන්දේසි අහෝසි කර ඇත.