kegalle-sakunthala-murder

කෑගල්ල නගරයේ කළුගල්ල මාවතේ පිහිටි සජබ පක්ෂ කාර්යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක ඊයේ (01) පෙරවරුවේ ඝාතනයට ලක්ව ඇති බව කෑගල්ල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කැගල්ල, හබුදුගල ග්‍රාමයේ පදිංචිව සිටි අහංගම විදාන රාළලාගේ සකුන්තලා වීරසිංහ (අවු. 38) නමැත්තියකි.
මරණයට පත් තරුණිය සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක දිසානායක මුදියන්ස්ලාගේ ලක්ෂ්මන් දිසානායක මහතාගේ කෑගල්ල නගරයේ කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ කාලයක සිට පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇති බවත්,  ඇය කෑගල්ල හබුදුගල නිවසේ සිට පක්ෂ කාර්යාලයට දිනපතා පා ගමනින් පැමිණි අයෙකු පවත් පරීක්ෂණවලදී අනාවරණය විය. ඊයේ (01දා) පෙරවරුවේ තරුණිය පක්ෂ කාර්යාලයේ සේවයට පැමිණීමෙන් පසු සිදුවූ දේ අපැහැදිලිය.

ඊයේ (01) උදෑසන කාලයේ උඩුමහලේ කාමරයක් තුළ වෙඩි තබා ඝාතනයවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය විය.


 පක්ෂ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි කාමරයක් ඇඳක් මත ලේ ගලන තුවාල සහිතව උඩුබැලි අතට වැටී සිටිය දී සකුන්තලාගේ සිරුර ඊයේ උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි. ඇයට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන පිස්තෝලය ද එම කාමරයේ ඇඳ මත තිබී සොයාගෙන එය පොලිස් බාරයට  ගෙන ඇත.
ඇයගේ සිරුරේ පිට ප්‍රදේශයේ වෙඩි වැදීමෙන් සිදුවූ බවට සැලකෙන තුවාලයක් පෙනෙන්නට ඇතැයි ද පොලිස් නිලධාරියා කීවේය. සැකකරු මෙම තරුණියගේ නිවසට ගොස් සැකකරුට අයත් පැජරෝවෙන් පක්ෂ කාර්යාලයට නිතිපතාම කැඳවාගෙන ඒම කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් සැකකරු ඊයේ උදේද ඇය කැඳවාගෙන පැමිණ ඇති බවත් පරික්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සකුන්තලා කැඳවාගෙන ඒමෙන් පසුව ඇය සුරතලයට ඇති කරන පූසාට මාළු ගෙනැවිත් දී යළි පිටවී ගිය බව සැකකරු පොලීසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි කියති.

කාර්යාලයට තුන්වැනි වරට පැමිණ ඉහළ මහලට ගොඩ වූ අවස්ථාවේ එහි ඇති විවේක කාමරයේ ඇඳ උඩ ලේ ගලන තුවාල සහිතව සකුන්තලා වැටි සිටින අයුරු දක්නට ලැබීමෙන් පසුව තමා මේ බව ඇයගේ අයියාට දුරකථනයෙන් කතා කර දැනුම් දී ඔහු ගෙන්වා ගත් බවද සැකකරු ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය කියයි. පොලිසියට මේ ගැන පැමිණිලි කර ඇත්තේ සැකකරු සහ තරුණියගේ සහෝදරයා බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කෑගල්ල හඹුදුගල ප්‍රදේශයේ පදිංචිව සිටි අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි තරුණියකි. ‍
ඇය මාතලේ දිස්ත්‍රික්කයේ වෙසෙන ග්‍රාම නිලධාරිවරයකු සමග ලබන ජනවාරියේ විවාහ වීමේ අපේක්ෂාවෙන් පසුවී ඇති බව දැන ගැනීමට ඇතැයි ද කෑගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 62 හැවිරිදි ලක්මන් දිසානායක නමැති අයෙකි. ඔහු සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයාය.
සැකකරු මාර්ග ඉදිකිරීමේ සහ ගොඩනැගිලි ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවකු බව ද පොලිසිය සදහන් කරයි. පක්ෂ කාර්යාලයේ වැඩකටයුතු මෙන්ම සැකකරුගේ ව්‍යාපාර කටයුතුවලට අදාළ කටයුතුද සිදු කළේ ඝාතනයට ලක්වූ තරුණිය යැයි පොලිසිය කියයි.



 කෑගල්ල සහකාර පොලිස් අධිකාරි (01) ප්‍රදීප් වීරසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කළේය. ඇයගේ සිරුර තිබූ කාමරය දෙසට සවිකර ඇති සිසිටීවි කැමරාවක රූපරාමු පෙළක් පරික්ෂා කර බැලීමේ දී දක්නට ලැබුණු දර්ශන සහ පරික්ෂණවලින් අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ තරුණිය ආසන්නයේ තිබී මිලිමීටර් 3.8 රිවෝල්වරයක්ද පොලීසිය මගින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (01දා) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය තරංග බණ්ඩාරනායක මහතා වෙත ඉදිරිපත් කෙරිණ. පසුව කෑගල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මූලික කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඝාතනය සිදුව තිබුණු පක්ෂ කාර්යාලයට ඊයේ (01දා) දහවල් ගොස් මූලික විමර්ශන කටයුතු සිදුකෙරුණු අතර,

එහිදී තරුණියගේ පිට කොන්දේ වෙඩි වැදීමෙන් ලද තුවාල දක්නට තිබුණු අතර, මෘතදේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාර් වෛද්‍ය සමන්ත විජේරත්න මහතා වෙත යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය ඥාතීන්ට භාර දෙන ලෙසත් වාර්තා සමග සැකකාර ආසන සංවිධායකවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කළාය.