අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ තිබේ.
හිමිනම ඔහු රැගෙන යාමට ගුවන් තොටුපළට ගොස් ඇති අතර එසේ පැමිණි අවස්ථාවේ එම තරුණයාගේ මුහුණු පොතින් හඳුනාගත් තරුණියකද ගුවන්තොටුපළට පැමිණ සිට ඇත.
තරුණයා කිසියම් නඩුවකට පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදීම අත්අඩංගුවට ගැනීමක් සිදුව ඇත. ඒ අවස්ථාවේ තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදල් ප්‍රමාණයක් හිමිනමට භාරදී ඇත.
තරුණයා රහිතව හිමිනම නැවත පිටත්වෙද්දී මුහුණු පොතන් හඳුනාගත් තරුණිය පවසා ඇත්තේ තමන්වද ඇරලවන ලෙසයි.
පසුව හිමිනම සිය ඥාති පුත්‍රයාගේ මිතුරියද සමග පිටත්ව ගිය අතරමගදී එම තරුණිය විසින් පලතුරු බීම දෙකක් වෑන් රථයේ රියැදුරුට සහ හිමිනමට ලබාදී ඇත.
එම බීම පානය කිරීමෙන් අනතුරුව සිහි මඳ ගතියක් ඇති වූ බව හිමිනම පොලිසියට ප්‍රකාශ කර ඇත.
ස්වල්ප වේලාවකින් එම ගතිය නැතිවී ගොස් ඇති අතර එම තරුණියද රියෙහි නංවාගෙන පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් බැස්සවූ බව හිමිනම පොලිසියට පවසා ඇත. පසුව බැලීමේදී ඥාති පුත්‍රයා තමන්ට ලබාදුන් මුදල් අතුරුදන් වී තිබූ බවට එම පැමිණිල්ලෙහි සටහන් වේ.
තරුණිය ඔවුන් මත්වූ අවස්ථාවේ මුදසල් පැහැරගන්නට ඇතැයි සැක කෙරේ.
තරුණිය අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.
(හේමන්ත ලියනපතිරණ)
0 Comments