kohli-dhoni

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සමුගත් දිනයේදී දුරකථනයට පණිවුඩයක් යොමු කරමින් තමා ධෛර්යවත් කිරීමට පියවර ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි පමණක් බව විරාත් කෝලී පැවසීය. තවත් බොහෝ ක්‍රීඩකයන් සතුව තමාගේ දුරකථන අංකය තිබුණද, ඔවුන් කිසිවකුගෙන් එම මොහොතේ තමාට ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් නොපැමිණි බවද එහිදී ඔහු වැඩිදුරත් කියා සිටියේය.අසාර්ථක වූ විටදී නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම සඳහා ධෛර්යවත් කිරීමට ඉදිරිපත් වූයේ කවුරුදැයි යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කෝලි ඒ බව සඳහන් කළේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරී 04 දෙනාගේ වටයේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

"රූපවාහිනියට ඇවිත් අදහස් දක්වන අය නම් හුඟක් ඉන්නවා.

ඒත් මගේ දුරකථන අංකය තියෙන වෙන කිසිම කෙනෙකුගෙන් මට කෙටි පණිවුඩයක්වත් ආවෙ නෑ, අපි අතරෙ තියෙන සම්බන්ධය අව්‍යාජනම් එහෙම වෙන්න බැහැනේ. සම්බන්ධයක් අව්‍යාජ නම් එකිනෙකා ආරක්ෂා කරගන්න ඕන. අපි අපිට අවංක වෙන්න ඕන. ඒත් මෙතැනදී වෙනනේ වෙන දෙයක්. මට කියන්න පුළුවන් එක දෙයයි. මට කෙනෙකුට දෙයක් කියන්න තියෙනවා නම් මම ඒක එයාට පෞද්ගලිකව කතා කරලා කියනවා. මොකද ප්‍රශ්නෙකදි කෙනෙකුට උදව් කරන්න අවශය නම්,ඒකට අදාළ විසඳුම මුළු ලෝකෙටම ඇහෙන්න කියන එක තේරුමක් නැති වැඩක්.

මට නම් එහෙම කියන දේවල්වල කිසිම වටිනාකමක් නෑ. මොකද මගෙ වරදක් හදාගන්න මං වෙනුවෙන් කියන දෙයක් නම්, ඕන කෙනෙකුට කෙළින්ම මට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියලා. මම මගේ ජීවිතය හරීම අවංක විදියට ගතකරන කෙනෙක්. මං කියන්නෙ නෑ අතින් අය කියන දේවල් මට වැඩක් නෑ කියලා.” යැයිද කෝලි පැවසීය.



දිගින්දිගටම පිතිකරුවකු ලෙස ආසාර්ථක වීමෙන් පසු මාසයක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව පවුලේ උදවිය සමග කල්ගත කළ කෝලි යළිත් කණ්ඩායමට එක් වූයේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදීය. එහිදී මේ දක්වා ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 35ක්, නොදැවී 59ක් සහ 60ක් ලෙසිනි.ලෝකය මාව දකින විදියට, ක්‍රීඩාංගණයට එනකොට මගේ නම කියල කෑ ගහනකොට මට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා. ඒත් වඩාත්ම වැදගත් දෙය තමයි මම හොඳ ෆෝම් එකක ඉන්න එක. මොකද මම හොඳ ෆෝම් එකක නැත්නම් ඒකෙන් කණ්ඩායමට හොඳක් වෙන්නෙත් නෑ, මට හොඳක් වෙන්නෙත් නෑ." යැයි කෝලි සඳහන් කළේය.  පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ජයග්‍රහණයට ලකුණු 31ක් පසුපසින් සිටියදී පාකිස්තාන ක්‍රීඩක අසීෆ් අලී ලබාදුන් පහසු උඩ පන්දුක් ෂෝට් තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි අර්ෂ්දීප් සිං අතින් ගිලිහී ගියේය. ඉන් අනතුරුව හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමග පන්දු 08කින් ලකුණු 16ක් රැස් කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණිය ආසන්නයටම ගෙන ගියේය.

එම සිදුවීම සම්බන්ධයෙන් කෝලි මෙසේ පැවසීය.

"ලොකු පීඩනයක් යටතේ ක්‍රීඩා කරනකොට කා අතිනුත් වැරදි සිදුවෙනවා. මේක ලොකු තරගයක්. අවස්ථාවත් හුඟක් තීරණාත්මකයි. ඒ නිසා තරගයෙන් පසුව අපි හැමෝම එයාට (අර්ෂ්දීප්ට) කතා කරලා එයාගේ හිත හැදුවා." යැයි කෝලි  කියා සිටියේය.

(ශානුක අරවින්ද)