kuliyapitiya-wismitha-weda-mahatha

'විස්මිත වෙද මහතා' යන නමින් යූ ටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන වෙද මහතෙකු අසැබි දසුන් පෙන්වා වයස අවුරුදු 12ක දැරියක ලවා සිය පහත් ආශාවන් සංසිඳුවාගෙන ඒවා ඔහු විසින්ම වීඩියෝ කළ සාක්ෂි සහිතව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුවකරන බව කියමින් කුලියාපිටිය උඩුබද්දාව පල්ලෙවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන මොහු ලිංගික අතවර සිද්ධියට සැකපිට පෙරේදා (14) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකාර වෙදමහතා අතින් අතවරයට ලක් වූ බව කියන තවත් දැරියන් දෙදෙනකු සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ. 



 තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහොත් තමා සතු විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකොට දැරියගේ කුසට දරුවෙකු ලබාදෙන බවට බියවද්දමින් තර්ජනය කර වසර දෙකක පමණ කාලයක් අදාළ දැරියට අවස්ථා ගණනාවකදී බරපතල ලෙස අතවර සිදුකර ඇති බවට දැරියගේ මව විසින් කුලියාපිටිය පොලිසියේ සිදුකළ පැමිණිල්ලේ සදහන්ව තිබිණි.

එහිදී පොලිසිය සිදුකළ මූලික විමර්ශන අනුව දැරියගේ මව සති පොළට ගොස් සිටියදී දිවාකාලයේ දැරිය නිදාගෙනසිට අවදි වනවිට දැරියගේ සයනය මත සැකකාර වෙදා සිය ජංගම දුරකථනය ඔබමින් සිටි බවත් දැරිය හැඳ පැළැඳ සිටි ඇඳුම් විසිරීගොස් තිබී ඇති බවත් ප්‍රකාශ ලබාදී තිබිණි. එමෙන්ම තවත් අවස්ථාවක දැරිය ජලය රැගෙන ඒමට යෑමේදී මුළුතැන්ගේ පිටුපස සැකකරු රැඳී සිට බලහත්කාරයෙන් දැරියගේ අතින් ඇද අතවර සිදුකර තිබූ බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගන තිබිණි.

මෙම සිදුවීම් දාමයත් සමගින් සැකකරුගේ නිවස යාබදව නිවසක පදිංචිව සිටි දැරිය පාසැල් යෑම ප්‍රතික්ෂේප කර තිබූ බවත් ශීඝ්‍රයෙන් ඇයගේ දෛනික ක්‍රියාකාරකම්වල වෙනස්කම් රැසක් දුටු බවත් මව පවසා තිබේ. ඇය තම නිවසේ දිවිගෙවීම පවා ප්‍රතික්ෂේප කර ඇති නිසා වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කිරීමෙන් පසුව මවට දැරිය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පැවසීමෙන් පසුව මව විසින් පොලිසියට පැමිණිළි කර තිබිණි.

දැරියන්ට ලිංගික අතවර කරන අවස්ථා සැකකරු වීඩියෝ ගතකර ඇති බවට හෙළි වූ නිසා ඔහුගේ ජංගම දුරකථනය ද වැඩිදුර පරික්ෂණ සඳහා පොලිසිය භාරයට ගෙන ඇත.




 මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ චින්තක විජේසූරිය නමින් හැඳින්වෙන තිස්හත් හැවිරිදි එක්දරු පියෙකි. ඔහුගේ යූටියුබ් නාලිකාවට අනුව ඔහු ‘ආචාර්ය චින්තක විජේසූරිය‘ නමින් හඳුන්වාගෙන තිබේ.
මෙම තැනැත්තා කිසිවකු නිවසේ නොමැති අවස්ථාවක් බලා මෙම බාලවයස්කාර දැරියගේ නිවෙසට රිංගා තවත් දැරියන් දෙදෙනකුගේ නිරුවත්  ඡායාරුප සහ ඔවුනට අතවර කරන ආකාරය ඇයට පෙන්වීමට සලස්වා දොළොස් හැවිරිදි දැරියට ලිංගික අතවර කර ඇති බව ද  දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් මේ පිළිබඳව පවසා ඇතැයිද පොලිසිය කියයි. දොළොස් හැවිරිදි බාලවයස්කාරිය තමාට සිදු වූ අතවර ගැන වෙදමහතාගේ බිරිඳට ද කියා පසුව මවට දැනුම් දීමෙන් පසු මව  කැටිව පැමිණ මේ ගැන කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයවීර රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත.

සැකකරු වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිට මෙම දැරිය වරින් වර අතවරවලට ලක් කර ඇති බවද පොලිසිය කියයි. මේ ගැන තොරතුරු හෙළිකළහොත් දේව බලයෙන් ඇයගේ මවුපියන්ට දඬුවම් ලබා දෙන බවට කපුවා ප්‍රකාශ කර ඇතැයි දැරීය පවසන්නේ යැයි ද පොලිසිය කියයි.


විස්මිත වෙද මහතා නමින් යූ ටියුබ් චැනලයක් ද පවත්වාගෙන යන සැකකාර කපුවාට විවිධ ලෙඩ රෝග දේව බලයෙන් පහසුවෙන් සුව කිරීමට හැකියාවක් තිබෙන බව එම චැනලය මගින් ප්‍රසිද්ධ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. වසර තුනක පමණ කාලයක සිට පල්ලවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මෙම කපුවාගෙන් රෝග සුවකර කර ගැනීමට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ සිය ගණන් ජනතාව නිති පතාම පැමිණෙන බවද පොලිසිය කියයි.

මෙසේ පැමිණෙන පිරිස් අතර ඇතැම් දේශපාලඥයන් හා රජයේ උසස් තනතුරු දරන අය පවා සිට ඇතැයි සැකකරුට සමීප ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.