"පුතා පාසල් ඇරිලා එනකොට එක්කගෙන එන්න ගිය මගේ අම්මා දැකලා තියෙනවා වැහි වතුරට යට වෙලා තියෙන පාරේ පුතා හිටගෙන ඉන්නවා. එතැනින් වෑන් එකක් ගියාට පස්සේ පුනා පෙනෙන්න ඉදලා නැහැ. එතකොටම කවුදෝ කෑගහලා තියෙනවා ළමයෙක් වතුරට වැටුණා කියලා. අම්මා පස්සේ තමයි දැනගෙන තියෙන්නේ ඒ වතුරට වැලා තියෙන්නේ මගේ පුතා කියලා"  පාසල නිමවී නිවෙස බලා යමින් සිටියදී වැසි ජලයේ ගසාගෙන ගොස් බෝක්කුවක සිර වීමෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ශිෂ්‍ය සජිත ගිහාන් ගුණරත්නගේ (14) මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පියා වන වී.ඒ.ජී. ගුණරත්න මහතා එසේ කීය.කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු ධර්මකීර්ති අමරසිංහ මහතා ඉදිරියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මරණ පරික්ෂණය ඊයේ (06) පැවැත්විණි.

පාසල නිමවී පෙරේදා (5) සවස පාසලේ සිට පාගමනින් තම නිවස කරා යමින් සිටියදී මාර්ගයේ ධාවනය වූ පාසල් වෑන් රථයකට ඉඩ  දීම සඳහා මාර්ගයේ අයිනට වීමේදී

ඒ අසල තිබූ වැසි ජලය ගලා යමින් තිබූ ඇළකට ඇද වැටීමෙන් මෙම ශිෂ්‍යයා මරණයට පත්විය. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අධික වේගයෙන් ගලා ගිය වැසි ජලය සහිත ඇළට සම්බන්ධ පටු ඉඩකින් යුත් බෝක්කුවක සිර වීමෙන් ඔහු මරණයට පත්ව ඇති බව අනාවරණය විය. කුරුණෑගල පොලීසිය, වැහැර යුද හමුදා කඳවුර සහ ප්‍රදේශවාසීන් එක්ව අධික වර්ෂාව මධ්‍යයේම පැය දෙකක පමණ අසීරු මෙහෙයුමකින් බෝක්කුව තුළ සිරවී සිටි සජිත ශිෂ්‍යයා ගලවාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.කුරුණෑගල වැහැර පන්සල පාරේ පදිංචිකරුවකු වූ සජිතගේ මරණ පරික්ෂණයේදී ගුණරත්න මහතා මෙසේද ප්‍රකාශ කළේය.

 "මේ සිද්ධිය වූ දවසේ උදේ ඉඳලාම තදින්ම වැස්ස පැවතුණා. වැස්ස තිබුණත් පුතා දුවත් එක්ක පාසලට ගියා. එදා හවස දුවට අතිරේක පන්තියක් තිබුණු නිසා පුතාට තනියම ගෙදර එන්න වෙන නිසා අම්මා ගියා පුතා එක්ක එන්න. පුතා එන මගට අම්මා ගියත් යන්න තියෙන පාරෙත් කොටසක් වතුරට යට වෙලා තිබුණු නිසා අම්මා යන්න බයේ මග නැවතිලා පුතා එනකල් බලාන ඉඳලා තියෙනවා. සිද්ධිය වුණු බුදු පිළිමයක් තැත්පත් කරලා තියෙන මංසන්ධියේ පාර අයිනේ පුතා හිටගෙන ඉන්නවා අම්මා දැකලා තියෙනවා. ඒත් එක්කම අනික් පැත්තේ ඉඳලා බණ්ඩාරනායක විදුහලේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් එකක් පුතා ඉන්න දෙසට ඇවිත් පුතා පහුකරගෙන යනවත් අම්මා දැකලා තියෙනවා. අම්මා අන්තිම වරට පුතා දැකලා තියෙන්නේ ඒ අවස්ථාවේ තමයි.

වෑන් එක ගියාට පස්සේ පුතා පේන්න ඉඳලා නැහැ. එතකොටම පාරේ ගිය කවුදෝ කෑගහලා තියෙනවා ළමයෙක් කාණුවේ වතුරට වැටිලා ගසාගෙන ගියා කියලා.

අම්මා එතකොට ළග හිටිය කෙනකුට සැකයට වගේ කියලා තියෙනවා අපේ පුතත් එතැන හිටියා, දැන් පේන්න නැහැ, එයාද දන්නේ නැහැ කියලා. එහෙම කීවත් පස්සේ තමයි අම්මා දැනගෙන තියෙන්නේ ඒ වතුරට වැටිලා තියෙන්නේ අපේ පුතා කියලා. ඒ වෙලාවේ මම හිටියේ වැඩපොළේ. සිද්ධිය වෙලා පුතා රෝහලට අරන් ගියාට පස්සේ තමයි මම දැනගත්තේ’ යැයිද කීය.

කුරුණෑගල මූලස්ථාන පොලීසියේ සැරයන් (31476) ආනන්ද රත්නායක මහතා මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීමට සහාය විය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.සී.පී. චමින්ද මහතාගේ වාර්තාව්වේ සඳහන් වූයේ සජිත ශිෂ්‍යයාගේ මරණය දියේ ගිලීමකින් සිදුවූ හදිසි මරණයක් බවය. මරණ පරික්ෂණයෙන් අනතුරුව අදහස් දැක්වූ කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂණ ධර්මකීර්ති අමරසිංහ මහතා පාසල් සිසුන් විශාල වශයෙන් ගමන් කරන මෙවැනි පටු මාර්ග වල ආරක්ෂාව තහවුරු කිරිම පොලීසිය ඇතුළු බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් බව පෙන්වා  දුන්නේය. එසේම පරිසරයට සහ මාර්ගයට අවහිර වන ආකාරයට කර ඇති අනවසර ඉදිකිරීමද මෙවැනි අවාසනාවන්ත මරණයකට හේතුවී ඇති බවද තහවුරු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද මරණ පරීක්ෂකවරයා අවධාරණය කළේය.

 පුෂ්පකුමාර ජයරත්න