kuwait-mother-death

වසර 19කට පමණ පෙර කුවේට් රටේ ගෘහ සේවයට ගිය බව කියන පොලොන්නරුව ප‍්‍රදේශයේ මවකගේ මෘත ශරීරය භාර ගන්නා ලෙසට විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් කළ දැනුම්දීමක් හේතුවෙන් එම නිවැසියෝ කලබලවී තිබේ. අංක 250/2, ඉසිපතන මාවත,පොලොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි බව කියන විනීතා හෙට්ටි ආරච්චි නමැති තිදරු මව කුවේට් රටට ගොස් ඇත්තේ 2003 වසරේදීය. විදෙස්ගතව වසරකට පමණ පසු එම නිවසේ ඇයට කරදර බවත් නිවැසියන්ට දන්වා තිබේ.

ඇගේ දරුවන් සහ ස්වාමියා මේ පිළිබදව කුරුණෑගල සහ කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ බව දැනුවත් කර ඇය නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය පතා තිබේ. මෙම කාන්තාව එම නිවසේ කරදර ඇති බවත් ඇය රෝගාතුරව සිටින බවත් ඇය ලංකාවට නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට් රාජ්‍යයේ සිටින එම නිවසට යාබදව නිවසේ සේවය කරන ශ්‍රී ලංකා කතක් නිවැසියන්ට දන්වා ඇත.



 යාබද නිවසේ සේවය කළ බව කියන කාන්තාව කළ දැනුම්දීම පිළිබදවද පවසා නැවතත් ස්වාමියා සහ දරුවන් විදේශසේවා නියුක්ති කාර්යාංශයට අවස්ථාවන් රැසකදී ආයාචනා කර සිටියද කිසිදු නිලධාරියෙකු එයට සවන් නොදුන් බව ඔවුහු සඳහන් කළහ. විදෙස්ගත වූ බව කියන කාන්තාව වසර 19 පමණ නිවැසියන් සමග නැවත සබදතාවයක් පවත්වා නැත. ඒ හේතුවෙන් ඇය අතුරුදන් බවටද දරුවන් නැවත නැවතත් විදේශසේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇත.

එහෙත් ඒ කිසිදු ලිපියකට පිළිතුරක් නොලැබුණ බවද ඔවුහු පැවසූහ. පසුගිය 08 වන දින පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරියෙකු පැමිණ ඔහු සිය ජංගම දුරකථනයෙන් ලිපියක් පෙන්වා විනීතා හෙට්ටි ආරච්චි නමැති කාන්තාව කුවෙට් රටේදී මරණයට පත්ව ඇති බවත් ඇගේ මෘත දේහය බාර ගැනීමට කටයුතු කරන ලෙසට අදාළ ලිපිය මගින් දැනුම්දී ඇති පවසා ඇත.



පසුව මෙම කාන්තාවගේ දරුවන් එම ලිපියේ සඳහන්  පරිදි සිය මවගේ මරණය සම්බන්ධව කුරුණෑගල විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිය පසු එහි නිලධාරින් පවසා ඇත්තේ ඇගේ මෘත දේහය කුවෙට් රටේ රෝහලක තිබෙන බවත් එය ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හතරක් පහක් පමණ මුදලක් වැය වන බවය. මෙම වසර 19 පමණ කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටි මවගේ මරණය බාර ගන්නා ලෙස කළ දැනුම්දීමෙන් දරුවන් දැඩි වික්ෂිප්ත බවට පත්ව තිබේ. තම මවට සිදුවූ අසාධාරණය සම්බන්ධව විධිමත් පරික්ෂණයක් සිදුකර සිය මව මියගිය ආකාර සම්බන්ධව නිසි තොරතුරක් ලබා දී ඇගේ මෘත දේහය ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට එම පවුලේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.


(මැදිරිගිරිය වාපා මධුභාෂිණී )