man-caught-bribe

කාන්තාවකට රජයේ රැකියාවක් ලබාදෙන බවට පවසා ලිංගික අල්ලසක් ඉල්ලීම හා රුපියල් 50,000ක
මුදලක් ඉල්ලා එම මුදල ලබා ගැනීමට යෑමේදී අල්ලස් කොමිසම  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්
කරන ලද ශ්‍රී  ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක ඇතුළු සැකකරුවන් දෙදෙනකු
ලබන 21 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ
කැකුණවෙල මහතා ඊයේ (07දා) නියෝග කළේය.





උරයප්පුලම්, අතෙයිකෝට්ටේ, කල්මුණේ පදිංචි ශ්‍රී  ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික්
සංවිධායක මුහම්මදු කාසිම් මුහම්මදු හා ඔහුගේ ලේකම් යැයි කියන එම්.පී.එස්. නවාතැන්පළ,  ආදුරුප්පු
වීදිය, කොළඹ 13 පදිංචි ලෙබ්බෙ සෙයිනුල් ආබ්දීන් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අධිකරණය මඟින්
රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා මෙම නඩුවේ පැමිණිලිකාරියගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක
මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලා එම එක් ලක්ෂ පනස් දහසක මුදලෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා
ගැනීමට යෑමේදී එම සැකකරුවන් දෙදෙනා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට
ගත් බව එම කොමිසම අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කර සිටියේය.



පසුගිය 6 වැනි දින මෙම සැකකරුවන් දෙදෙනා පොල්ගහවෙල පදිංචි පැමිණිලිකාරියගෙන් රුපියල් 50,000ක
මුදල අල්ලසක් ලෙස ගැනීමට යෑමේදී පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ පිහිටි බේක්හවුස් ආයතනය
තුළදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එම කොමිසමේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි, උප පොලිස් පරීක්ෂක හර්ෂ,
පොලිස් සැරයන් චමින්ද හා පොලිස් සැරෙන් විජේසිංහ යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.  

හංසි නානායක්කාර