maththegoda-bus-lover

පිළියන්දල බස් නැවතුම්පළේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි සිසු දරුවෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා රාත්‍රියේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය රූපවාහිනියෙන් නැරඹීමට ආසන්න ස්ථානයකට බස් රථ රියැදුරන් සිව් දෙනකු ගොස් ඇත්තේ තමන් පැදවූ බස් රථ හතරද පිළියන්දල බස් නැවතුම්පළේ ගාල් කරමිනි.


මොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අයුරු නරඹා එය නිම වීමෙන් අනතුරුව රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මඳක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් ඇත. මිනිත්තු කිහිපයකින් ඔවුන් සිව් දෙනා යළිත් බස් නැවතුම්පළට පැමිණ ඇති අතර එහිදී නවතා තිබූ බස් රථ හතරෙන් එක් බස් රථයක් අතුරුදන් වී ඇත.

බස් රථයේ යතුර බසයේම තබාගොස් තිබුණු බවත් එසේ තිබියදී කිසිවකු විසින් බස් රථය සොරාගෙන ගොස් තිබෙන බවත් එහි රියැදුරු පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබිණි.

පැමිණිල්ලට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් පිළියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක පියවර ගත්තේය. රාත්‍රී 12.30 ට පමණ කැස්බෑව දෙස සිට පැමිණෙමින් තිබූ බස් රථයක් කැස්බෑව පිළියන්දල අතුරු මාර්ග බාධකයේ සිටින නිලධාරීන්ට නිරීක්ෂණය වී ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කර තිබිණි.

එහිදී බසය පදවාගෙන ආ පුද්ගලයා බසයෙන් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමාගේ පෙම්වතිය මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇයගේ ආරාධනයකට අනුව ඇයගේ නිවසට යාමට පිළියන්දල බස් නැවතුම්පළට පැමිණියත් එහි යාමට බසයක් නොවූ නිසා නවතා තිබූ බසයක් මේ ආකාරයෙන් රැගෙන පෙම්වතිය බැලීමට ගිය බවත් පාපොච්චාරණය කර තිබේ.

මෙම සැකකරු මීට වසරකට පමණ පෙර හෝමාගම ප්‍රදේශයේද නවතා තිබූ බස් රථයක් මේ ආකාරයෙන්ම සොරාගෙන පෙම්වතිය බැලීමට ගොස් එන අතරවාරයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවද පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
පානදුර මුරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතිය බැලීම සඳහා ඔහු මෙසේ ගොස් තිබුණි.


15 හැවිරිදි සිසු දරුවා පෙම්වතිය බලන්නට නිවසට ගොස් පවසා ඇත්තේ තම පියාගේ බස් රථයෙන් එහි ආ බවයි.
බස් රථය රැගෙන යාමේදී එහි සිටි මගීන්ද නංවාගෙන ගිය මොහු ඔවුන් අදාළ ස්ථාන වල බස්වමින් ගමන් කර ඇති අතර මුදල් අයකරගෙන නැත. පෙම්වතියට බස් රථය පෙන්වීමෙන් පසු නැවත පෙර තිබූ තැනටම බස් රථය තබා යන්නට ඔහු පැමිණෙමින් සිටියදී මෙලෙස පොලිසියට හසු විය.
සැකකරු මත්තෙගොඩ කිතුල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකනු බව පොලිසිය පවසයි.