මිගමුව අධිකරණ සංකීර්ණය ආසන්නයේදී ඊයේ (31) දහවල් 1 ට පමණ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ, කටුවැල්ල ප්රදේශයේ පදිංචි කුරුප්පු ආරච්චිගේ සුරේෂ් පුෂ්පකුමාර (42) හෙවත් කටුවැල්ලේ සුරේෂ් නමැති අය බවත්, ඔහුගේ පපු ප්රදේශයට වෙඩි වැදී ඇති බවද පොලිසිය කියයි. මීගමුව අධිකරණයේ අවසන් වූ නඩුවක නඩු වාර්තාවක් ලබා ගැනීම සඳහා ඊයේ අධිකරණයට පැමිණ දහවල් අධිකරණයෙන් පිටව ගොස් අධිකරණය ඉදිරිපිට නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ නැගී ගමන් ගන්නා අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගේ පසුපැදිකරු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි. අධිකරණයේ සිට මීටර් 150ක පමණ දුරින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
වෙඩික්කරු සුරේෂ් නමැත්තා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි ප්රහාරය එල්ල වන විට ඒ අසලින් යතුරුපැදියකින් ගමන් කළ අඹුසැමි යුවළකගේ පාදවලටද වෙඩි වැදී තුවාල ලබා ඔවුන් ද මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
උන්නාරුවේ රනියා සහ තවත් අයකු තමාට මෙම වෙඩි තැබීම සිදුකළ බව සුරේෂ් නමැත්තා හඳුනාගෙන ඒ බව පොලිසියට ප්රකාශ කර ඇත. සුරේෂ් නමැත්තාට එරෙහිව මීගමුව මහාධිකරණයේ හෙරොයින් නඩුවක් විභාග වන බවත්, 2017 වසරේදී හෙරොයින් ග්රෑම් 7 ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ එම නඩුව විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි. වෙඩි ප්රහාරය එල්ල වන අවස්ථාවේ කාර් රථයේ පිටුපස අසුනේ දෙදෙනකු සිට ඇතත් ඔවුනට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
එම්.එම්. 9 වර්ගයේ පිස්තෝලයක් වෙඩි ප්රහාරය එල්ල කිරීමට යොදාගෙන ඇතැයි පොලිසිය කීය. මෙම වෙඩිතැබීම පාතාලයට සම්බන්ධ සිදුවීමක් නොවන බවත්, අනියම් සම්බන්ධයක් හේතුවෙන් සිදුකළ තර්ජනයක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
-ඉන්දිකා රාමනායක-
0 Comments