negombo-fire-man-arrested

මිගමුව අධිකරණ සංකීරිණය ආසන්නයේදී  ඉකුත් 31 වැනිදා දහවල් පුද්ගලයකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වෙඩී තැබීමට උපයෝගි කරගත් පිස්තෝලය හා ජීව අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලැබුණු තොරතුරු අනුව මිගමුව කුටිදුව ලෙල්ලම ආසන්නයේදී පෙරේදා (5) සවස අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  මිනුවන්ගොඩ උන්නොරුව ප්‍රදේශයේ පදිංචි  'උන්නාරුවේ රනියා' (36) නමැත්තකු සහ ඔහුගේ ගෝලයකු වන ගලෙන්බිඳුනුවැව පදිංචි හිටපු ගුවන් හමුදා භටයකු (35) බවද පොලිසිය සඳහන් කරයි.



ව්‍යාපාරිකයකු වන සුරේෂ් පුෂ්පකුමාර  (42) හෙවත් කටුවැල්ලේ සුරේෂ් නමැති අය ඝාතනය කිරීමේ සැලසුම රනියා  නමැත්තා විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති බවටත් ඔවුන් දෙදෙනා ඉකුත් 31 වැනිදා යතුරු පැදියකින් ගොස් මීගමුව  මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ රැක සිට ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. රනියා නමැත්තා යතුරු පැදිය පදවා ඇති අතර ඔහුගේ මිතුරා වන හිටපු ගුවන් හමුදා  භටයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති  බවත් පොලිසිය පවසයි.  වෙඩි වැදීමෙන් සුරේෂ් නමැත්තා බරපතළ  තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර,

ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

සුරේෂ් නමැත්තා මව ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ අවසන් වූ නඩුවක නඩු වාර්තාවක් ලබා  ගැනීමට අධිකරණයට ගොස් නැවත පැමිණ අධිකරණය ඉදිරිපිට නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ නැගී ගමන් ගන්නා අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීමට ලක් වූ ව්‍යාපාරිකයා කලක් මිතුරන් ලෙස සිට ඇති බවත්, වෙඩි තැබීම සැලසුම් කළ ප්‍රධාන සැකකරු ව්‍යාපාරික මිතුරාගේ බිරිය සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යාම නිසා දෙදෙනා විරසක වී ඇති බවත් පොලිසිය කියයි.


ඉන්දිකා රාමනායක