padukka-abuse-full-story
අපි ඇය “නෙළුම්” නමින් හඳුන්වමු. නෙළුම් ජීවත් වූයේ හංවැල්ල පින්නවල ප්‍රදේශයේ සිය මව සහ සොහොයුරා සමඟිනි. පින්නවල ප්‍රදේශයේ පාසලක සිප්සතර හැදෑරූ ඇය දඩබ්බර ගති පැවැතුම් ඇති දැරියකි. ඇගේ මව කුලී වැඩ සඳහා නිවෙසින් පිටවන අතර ඒ නිසා නෙළුම් නිවෙසේ තනිවන අවස්ථාද බොහෝය. පාසල නිමවී නිවෙසට පැමිණි කාලය තුළද ඇය නිවෙසේ තනිවම රැඳෙන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරාද නිතරම නිවෙසේ නොරැඳෙන නිසාය.

කෙසේ වෙතත් නෙළුම් සිය මවගේ උපදෙස් එතරම් සැලකිල්ලකට නොගත් අතර ඇයට උපදෙස් ලබාදීමෙන් පලක් නැති බව ඇගේ මවද තේරුම්ගෙන සිටියාය. නිතර නිතර මවට අයත් ජංගම දුරකථනයේ රැඳෙන ඇය අවශ්‍ය ඇමැතුම් ලබා ගැනීමෙන් පසු එම අංක මකා දැමුවද ඒ වගක් හරිහැටි තේරුම් ගැනීමට මවටද දැනුමක්, අවශ්‍යතාවක් තිබුණේ නැත.

නෙළුම්ගේ හැසිරීම මවගේ එතරම් සැලකිල්ලට භාජන නොවූවද පාසල් ගුරුවරියක් ඇය ගැන විමසිල්ලෙන් පසුවූවාය. ඒ අතර නෙළුම්ගේ කිසියම් අනිසි ක්‍රියාවක් ගැනද එම ගුරුවරියට තොරතුරක් ලැබී තිබුණාය. ඇය නෙළුම් කැඳවා ඒ පිළිබඳ විස්තර විමසන්නට වූවාය. පාසල් ගුරුතුමියගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය නිරුත්තර වූවාය.

“ඔයා අදම පොලිසියට ගිහින් ඇත්ත කියන්න ඕන…”

ගුරුවරියගෙන් බේරීමට ඇයට හැකියාවක් නොතිබිණි. අනතුරුව ඇය හංවැල්ල පොලිසියට යන්නේ ගුරුවරිය දුන් උපදෙස් මතය. හංවැල්ල පොලිසියට නෙළුම් අමුත්තියක් නොවීය. ඒ ඇයගේ ක්‍රියා කලාපය ගැන ඇගේ මවද නෙළුම්ට විරුද්ධව හංවැල්ල පොලිසියට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබූ නිසාය. පොලිසිය එම පැමිණිලි විභාග කොට ඇය පිටත්කර යැවුවේ අවවාද සහ අනුශාසනාද ලබා දෙමින් වුවද එම අවවාද ඇය තඹ සතේකට මායිම් නොකළාය.

මව සමඟ හංවැල්ල පොලිසියට ගිය ඇය ස්ථානාධිපති වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ස්ථානාධිපතිවරයා ඇගෙන් කරුණු කාරණා විමසීය.



“සර් මට තුන්දෙනෙක් කරදර කළා.”

ඇය හීන් සීරුවේ මිමිණුවාය. ඇගේ කතාව ඇසූ ඇගේ මවද විමතියට පත්ව බලා සිටියාය. දීර්ඝ වශයෙන් කරුණු විමසූ ස්ථානාධිපතිවරයා ඇය පුද්ගලයන් කිහිපදෙනකු අතින් අපයෝජනයට ලක්ව ඇති බව වටහා ගත්තේය. ඇය එම සිද්ධියට මුහුණ දී ඇත්තේ අරුක්වත්ත ප්‍රදේශයේදී බැවින් ස්ථානාධිපතිවරයා ඇය සහ ඇගේ මව පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කරන්නට පියවර ගත්තේය. ඒ අරුක්වත්ත ප්‍රදේශය පාදුක්ක පොලිස් වසමට අයත්වූ බැවින්ය.

ඒ අනුව පාදුක්ක පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක මහතා හමුවේ පෙනී සිටි නෙළුම් තමාට විඳින්නට සිදුවූ අතවරය ස්ථානාධිපතිවරයා හමුවේ පවසන්නට වූවාය.

“කවදද ඔය සිද්ධිය වුණේ”

“පහුගිය තුන්වැනිදා”

ඒ අනුව ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය කැඳවූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනානායක, නෙළුම් ඇය වෙත ඉදිරිපත් කරමින් ඇගේ ප්‍රකාශයක් සටහන් කර සිද්ධියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

ළමා සහ කාන්තා කාර්යාංශය ඇගේ ප්‍රකාශය සටහන් කර ගත්තේ ඇය ඒ වනවිටත් බාල වයස්කාර දැරියක් වූ නිසාය. උප පරීක්‍ෂක පද්මා ඇගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් තුන්වැනිදා ඇය  අපයෝජනයට ලක්වූ සිද්ධියට පෙර ඇය තවත් තරුණයකු අතින් අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය කර ගත්තාය.

ඒ අනුව විමර්ශන දියත් කෙරිණි. පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. ඒ ඉකුත් තුන්වැනිදාය. නිවෙසේ සිටියේ මව සහ ඇය පමණි.

“අම්මේ මම නැන්දලා ගෙදරට ගිහින් ටීවී බලලා එන්නම්…”

ඇය එලෙස කීවද මවගෙන් ඊට නිසි ප්‍රතිචාර නොලැබිණි. එහෙත් ඒ නැතත් ඇය ඇගේ ගමන ඇය යන්නට තරම් හිතුවක්කාරිය. ඒ අනුව ඇය එදින නිවෙසින් පිටව ගොස් ඇත්තේ රාත්‍රි දහයට පමණය. රාත්‍රියේ නිවෙසින් පිටව නොයන ලෙස මව ඇයට අවවාද කළේද නැත. එසේ කළද ඇය මවගේ වචනය එතරම් ගණනකට ගන්නේද නැත.

ඇය රැගෙන යෑමට නිවෙස ආසන්නයට ත්‍රිරෝද රථයක් පැමිණ තිබිණි. ඇය වහා ගොස් ඊට ගොඩ වූවාය. රිය තුළ තැරුණයන් තිදෙනෙකි. ඉන් එක් අයකු ඇගේ පෙම්වතාය. ඔහු දහහත් හැවිරිදිය. සෙසු දෙදෙනා ඔහුගේ මිතුරන්ය. එකෙකු ත්‍රිරෝද රථය පැදවූ තැනැත්තාය. කොහාටද යන්නේ.

“මම දන්න තැනක් තියෙනවා එතැනට යමු”

ත්‍රීවීලරය පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ නතර විය. තට්ටු දෙකකින් සමන්විත නිවෙසක පිටුපස කොටසේ කෙසෙල් කොටුවක් අසල කුඩා මඩුවකි. ප්‍රදේශය පුරාම ඇත්තේ පාළු බවකි. රැහැයියන්ගේ හඬත් වරින් වර ඇසෙන බක මූණකුගේ නාදයත් හැරෙන්නට වෙන කිසිදු ශබ්දයක් නොවීය. මිනිස් පුළුටක් පෙනෙන තෙක් මානයකවත් නැත.

කුඩා මඩුවට ඇය රැගෙන ගිය පෙම්වතා සිය මිතුරන් සමඟ සිගරැට්ටු කිහිපයක සහ ගංජා සුරුට්ටුවක රස බැලූහ. ඒ අතරතුර ඇය පෙම්වතා ඉදිරියේ නිරුවත් වූ අතර ඔහු අතින් ඇය අපයෝජනයටද ලක්විය. ඒ අතරතුර ත්‍රීවීලරයේ පැමිණි මිතුරන්ද ඇගෙන් කිසියම් ආස්වාදයක් ලබා ගත්තේය.

කෙමෙන් කෙමෙන් රාත්‍රිය ගෙවීයන්නට විය. ඒ අතරතුර පෙම්වතා මිතුරකුට දුරකථන ඇමැතුමක් ලබා දෙන්නට විය. ඔහු අංගමුවේ පදිංචිකරුවෙකි.

“මම අරුක්වත්තේ ඉන්නේ…බයික් එකේ වරෙන්. අපි ඔහේට එන්නම්…”

පෙම්වතාගේ ඇමැතුමට එක පයින් ප්‍රතිචාර දැක්වූ අංගමුවේ මිතුරා එසැණින් යතුරුපැදියක නැඟී අරුක්වත්තට ආවේය.

“අපි යමු…”

“කොහේද…”

“මෙයාලා ගෙදර…”

නෙළුම් ඊට අකමැත්තක් නොදැක්වූවාය. මිතුරා පැමිණි යතුරුපැදියට නෙළුම්වද රැගෙන ගොඩවුණු පෙම්වතා ඔහුද සමඟ අංගමුව මිතුරාගේ නිවෙසට යද්දි මධ්‍යම රාත්‍රියද උදාවී තිබිණි.

මිතුරාගේ නිවෙසට ගිය ඇය එහිදීද සිය පෙම්වතා අතින් අපයෝජනයට ලක්වුවද ඇය ඊට අකමැත්තක් දැක්වූයේ නැත. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම බරපතළ වරදක් බව ඇගේ පෙම්වතා ඒ වනවිට දැන සිටි බවක් පෙනෙන්නට නොවීය.

මොහොතකට පසු මිතුරාට සමුදුන් ඇගේ පෙම්වතා ඔහුගේ යතුරුපැදිය ඉල්ලාගෙන නගරය දෙසට ගියේ මිතුරාටද සිය පෙම්වතිය අපයෝජනයට ලක් කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙමින්ය. එලෙස ගිය පෙම්වතා යළි අංගමුව මිතුරාගේ නිවෙසට පැමිණියේ තවත් මිතුරකුද එක්කාසු කරගෙනය. මොහොතකට පසු එලෙස පැමිණි මිතුරා අතින්ද ඇය අපයෝජනයට ලක්වී ඇතැයි පොලිසිය කීවේය.

මීට ඇගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවී තිබිණි. මෙලෙස පැය කිහිපයකින් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් අතින් අපයෝජනයට ලක්වූ ඇය යළි නිවෙස බලා පැමිණෙන විට වේලාව අලුයම හතරට පමණ වී තිබිණි. ඒ වනවිට මවත් සොහොයුරාත් නිවෙසේ සිටියද ඒ කිසිවකු නෙළුම්ගෙන් එළිවෙනතුරු කොහේ සිටියේදැයි ප්‍රශ්න කළේ නැත. ඇය නිවෙසට ගෙනත් ඇරලුවේද පෙම්වතා සහ මිතුරා විසින්ය. මේ වගද නෙළුම්ගේ මව දැන සිටියේ නැත. ඇය ඒ වනවිටත් සිට ඇත්තේ තුන් නින්දේ බව කියයි. හීන්සීරුවේ නිවෙසට ඇතුළු වූ නෙළුම් කිසිවක් නොවූවාක් මෙන් නින්දට ගියාය.

ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇගෙන් සියලුම සිදුවීම් මෙලෙස අනාවරණය කර ගත්තාය. සියල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට දැන්වූ ඇය බාල  වයස්කාර තරුණියක් මෙලෙස අපයෝජනයට ලක් කළ පුද්ගලයන් ගැනද ස්ථානාධිපතිවරයා දැනුවත් කළාය. ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඇරඹිණි.

ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයාට අවශ්‍ය වූයේ ළාබාල තරුණිය අපයෝජනයට ලක්වූ බව කියන ස්ථාන නිරීක්‍ෂණය කිරීමටය. ඒ අනුව සිද්ධියට අදාළ සාක්කි රැස් කිරීමටය.

ඒ අනුව අපයෝජනයට ලක්වූ දැරියද කැටුව පොලිස් කාන්තා නිලධාරිනියක්ද ජීප් රියට නංවාගත් ස්ථානාධිපතිවරයා අපයෝජනයට ලක්වූ සිසුවියගේ පෙන්වීම මත ඇය අපයෝජනයට ලක්වූ ස්ථාන සොයා ගියේය.

අරුක්වත්ත ප්‍රදේශයේ කෙසෙල් කොටුව මුලින්ම නිලධාරීන්ගේ

නිරීක්‍ෂණයට ලක්වූ අතර ඉන් අනතුරුව ඇගේ මඟ පෙන්වීම මත ඇගේ දහහත් හැවිරිදි පෙම්වතා අරුක්වත්ත සිය නිවෙසේදීම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවූහ.



සැකකරු පසුගියදා අරගලයටද එක්වූ තරුණයකු වූ අතර නිවෙසකට පහරදීමේ සිද්ධියකට මොහු සැකකරු වී තිබිණි.

දහහත් හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු විසින් බාල වයස්කාර දැරිය රැගෙන ගිය අංගමුව නිවෙස පොලිසිය විසින් සොයාගනු ලැබීය. නිලධාරීන් එම නිවෙසට යන විටත් පෙම්වතාගේ මිතුරා නිවෙසේ නිදාගෙන සිටියේය. ඔහු දුටු සැණින් අපයෝජනයට ලක්වූ දැරිය “සර් මෙයා තමයි මෙහෙදි මට කරදර කළේ” යැයි පවසන්නට වූවාය. ඇගේ ප්‍රකාශය මත ඔහුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය සිය භාරයට ගත් අතර එහි නිරුවත් ලිංගික දර්ශනද ඇතුළත් වී ඇති බව ස්ථානාධිපතිවරයාට නිරීක්‍ෂණය විය. ඒ අනුව එය පිරික්සීමේදී ස්ථානාධිපතිවරයා අනාවරණය කර ගත්තේ බාල වයස්කාර දැරිය සිය පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය සැකකරු විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවය. අනතුරුව එම ජංගම දුරකථනය නඩු භාණ්ඩයක් ලෙස පොලිසිය සිය භාරයට ගත්තේය.

පසුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ තවත් පුද්ගලයන් දෙදෙනකුද නිලධාරීන් විසින් කොටුකර ගන්නා ලදී.

ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඊළඟ අවධානය යොමු වූයේ බාල වයස්කාර දැරිය මුලින්ම අපයෝජනයට ලක්වූ පුද්ගලයා සොයා ගැනීමය. ඒ බව ඇගෙන් විමසීමේදී ඇය කියා සිටියේ ඔහු තම මුල් පෙම්වතා බවත් ඔහු යුද හමුදාවේ සේවය කළ අයකු බවත්ය. නිර්ණාමික දුරකථන ඇමැතුමකින් පසු ඔහු ඇසුරු කළ ඇය ඔහු අතින් අපයෝජනයට ලක්වී තිබුණේ ඇගේම නිවෙස තුළදීය. ඒ මීට මාස හයකට පමණ පෙරය.

“එදා මේ ගෑනු ළමයගේ ගෙදර කවුරුත් ඉඳලා නැහැ. එදා තමයි ආමි එකේ පෙම්වතා මුල් වරට නිවාඩුවට ගෙදර ඇවිත් තියෙන්නේ. එදා මේ ගෑනු ළමයා පෙමවතාට දුරකථනයෙන් කතා කරලා කියනවා අද මම ඉස්කොලේ යන්නේ නැහැ ගෙදර කවුරුත් නැහැ ගෙදරටම එන්න කියලා. එදාම මේ

ළමයා හමුදා පෙම්වතා අතින් ගෙදරදීම අපයෝජනයට ලක්වෙනවා. පස්සේ මෙයා තවත් කොල්ලොත් එක්ක සම්බන්ධකම් පවත්වන නිසා ඒ ආමි පෙම්වතා මෙයාව අතහරිනවා. ඒත් දුරකථනයෙන් මෙයාත් එක්ක කතා කරනවා. ගෑනු ළමයාගෙන් ඉදිරියටත් ප්‍රයෝජන ගන්න ඕන නිසා. ඒත් මේ සිද්ධිය මේ ගෑනු ළමයා කාටත් කියන්නේ නැහැ.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නට විය. ඉන් අනතුරුව අපයෝජනයට ලක්වූ පාසල් සිසුවිය ලවාම හමුදා පෙම්වතාට දුරකථන ඇමතුමක් දුන් නිලධාරීන් ඔහු පාදුක්ක නගරයට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු විසිතුන් හැවිරිදි අයෙකි.

ඒ අනුව බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතුන් දෙදෙනා සමඟ තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිස් නිලධාරීන් සමත් වූ අතර පසුව ඔවුන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 19, 20, 22 සහ 27 වියේ පසුවූවන් බව පොලිසිය කීය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ බාල වයස්කාර දැරිය මෙම පිරිස අතින් අපයෝජනයට ලක්වුවද ඇය මොවුන් සමඟ හැසිරී ඇත්තේ ඇගේ කැමැත්තෙන් බවට අනාවරණය වූ බවය. එමෙන්ම මෙම සිද්ධීන්වලට කලින්ද ඇය අපයෝජනයට ලක්ව ඇතැයිද පොලිසිය සැක කරයි.



සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීවීලරයක් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බාල වයස්කාර දැරිය සිය මව භාරයේ රඳවා ඇති අතර ඇය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීම සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ. එම පරීක්‍ෂණයේදී ඇය අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මේ මස 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මවුපියන්ගේ හව්හරණය, රැකවරණය නිසි පරිදි නොලැබීම නිසා මෙම බාල වයස්කාර දැරිය මෙවන් ඉරණමකට ගොදුරුවී ඇති බවය. එබැවින් බාල වයස්කාර දැරියන් සිටින මවුපියන් දරුවන් සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම අපයෝජනයට ලක්වූ මෙම දැරියගේ මවුපියන්ද සාර්ථක පවුල් ජීවිතයක් ගත නොකරන බවත් ඇගේ පියාද මොවුන් අතහැර ගොස් ඇති බවත් පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඇය මෙවන් තත්ත්වයකට ඇද වැටීමට මවුපියන්ගේ ක්‍රියා කලාපයද හේතුවී ඇති බව පොලිසිය අවධාරණය කරයි.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ, සහකාර පොලිස් අධිකාරි එච්. ආර්. වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පද්මා ඇතුළු සැරයන් සමන් (42649), කොස්තාපල්වරුන් වූ මධුසංඛ (92513), විජේරත්න (96997) සහ තෙන්නකෝන් (22132) යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි. මෙහි සඳහන් නෙළුම් යන නම මන–කල්පිත එකකි.

කීර්ති මෙන්ඩිස්