padukka-girl-abuse
පාදුක්ක, පින්නවල ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයන් 5 දෙනකු

පොලිස් අත්අඩංගුවට  ගෙන ඇතැයි පාදුක්ක පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් කීය.



සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත අදාළ දැරිය
පාදුක්ක පොලිසිය වෙත යොමුකර තිබේ.



ඒ අනුව, දැරිය සහ ඇයගේ මව ඊයේ (07දා) පාදුක්ක පොලිසිය වෙත අදාළ සිද්ධිය සම්බන්ධයෙන්
පැමිණිලි කර ඇත.

 පොලිසිය සඳහන් කළේ දැරියගේ ප්‍රකාශය අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තරුණයන් 5
දෙනකුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවය.

සැකකරුවෝ වයස අවුරුදු 19, 20, 22 සහ 27 වැනි වයස්වල පසුවන තරුණයෝ වෙති. අපයෝජනයට ලක්
වූ බව පැවැසෙන දැරියගේ වයස අවුරුදු 14යි මාස 10කි.

මීට මාස හයකට පමණ පෙර මෙම දැරිය යුද හමුදාවේ සෙබළකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති
බවත් එහිදී එම සෙබළා අතින් ඇය අපයෝජනයට ලක් වී ඇති බවත් පොලිසිය පවසයි.

පසුව ඇය සහ තවත් තරුණයකු අතර ප්‍රේම සම්බන්ධයක් හටගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.



මෙම තරුණයා පසුගිය 3 වැනිදා අදාළ දැරිය පාදුක්කේ අරුක්වත්ත ප්‍රදේශයේ කෙසෙල් මඩුවකට
රැගෙන ගොස් ඇත.

එහිදී එම ස්ථානයට එම තරුණයාගේ මිතුරන් දෙදෙනකුද පැමිණ ඇති අතර දැරිය එම තරුණයන් දෙදෙනා
අතින් අපයෝජනයට ලක්වී ඇතැයි හෙළි වී තිබේ. පෙම්වතා ඇය තනිකර පාදුක්ක නගරයට ගිය අවස්ථාවේ
මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.

දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා ඇය අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍ය
නිලධාරිවරයා වෙත යොමු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායකගේ මෙහෙයවීම මත වැඩිදුර
පරීක්ෂණ සිදුකරයි.