pyramid-scheme

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන "ස්පෝර්ට් වේන් සොසයිටි ශ්‍රී  ලංකා" නමැති ආයතනයේ ප්‍රධානීන් පස්දෙනකුට විදෙස් ගතවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන  ලෙසට ද මහේස්ත්‍රාත්වරයා  ඔවුන් පස්දෙනාට සිතාසි  නිකුත් කළේය.  

මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පෞද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුලිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන පස්දෙනාටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර ඔවුන් රටින් පිටවීමේ අවදානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව වංචාවටය හසුවූ පැමිණිලිකරුවන් 1,000කට අධික පිරිසක් සිටින අතර, මේ  වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පිරමිඩ වංචාවේ ප්‍රධානීන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ශාලා, සුපිරි හෝටල්වල උත්සව පවත්වමින් මෙය හඳුන්වා දී ඇත්තේ විශාල ජනකායක් ඒකරාශි කරමින් බවත්, මෙම වංචාවට හසු වූ අය සමස්ත රටපුරාම සිටින බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. "ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නමින් සමාජයක් පිහිටුවා ‘ස්පෝර්ට්චේන්” නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින්, ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මිනිසුන් තුළ විශාල විශ්වාසයක් ඇති කර එමගින් මුදල් යෙදවීමට පොළඹවා මෙම ජාවාරම සිදුකර ඇතැයි පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 මෙම මූල්‍ය වංචාවට හසුවූ පිරිසක් විසින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද කරන ලද අතර එම පැමිණිල්ලකට අදාළව එහි සටහන් කර තිබුණේ, මෙම මෘදුකාංගය  මගින් 8000ක පමණ පිරිසක් ඊට සම්බන්ධ වී ඇති බවය.

සිදුකර ඇති මූල්‍ය වංචාව දළ වශයෙන් රුපියල් කෝටි 1500කට අධික බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.  මේ අතර “ස්පෝර්ට්  චේන්“  සොසයිටි ශ්‍රී ලංකා" නමැති ආයතනය මගින් වන මෙම මෘදුකාංගයෙන් මුදල් ආයෝජනය කළ තැනැත්තන්ගේත් පැමිණිලි රාශියක් මේ වන විට ලැබී ඇති අතර නව පැමිණිලි දිනෙන් දින ලැබෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ද ඉකුත් 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ස්පෝර්ට් චේන් නමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසුවී ඇති බවට ඇල්ජසීරා පුවත් සේවයද ඉකුත් දා වාර්ත කර තිබිණි.


නිමන්ති රණසිංහ