sanath-nishantha

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ සොහොයුරාගේ නිවාසවලට ගිනි තබා විනාශ කළැයි ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට හලාවත අතිරේක මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා ඊයේ (27) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරියේ ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා වන අජිත් ගිහාන් මහතාය.



රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (වත්මන් පොදු ජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි නිවාස පසුගිය මැයි 9 දින ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලිසිය අවස්ථා කිහිපයකදී කටයුතු කර තිබුණද ඒ සඳහා ඔහුගේ නීතිඥයන්ගෙන් එල්ල වූ විරෝධතා  හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.

ඒ අනුව මෙම සැකකරු එම ගිනි තැබීම්වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට ද හෙළි වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.මෙම නිවාසවලට ගිනි තැබීමට විශාල පිරිසක් පැමිණ ඇති බවත්,

එම පිරිස හඳුනා ගැනීමක් පවා සිදුකර නොමැති බවත්, මේ වනවිට මෙම ගිනි තැබීමට 80කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.  තම සේවාදායකයාගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමක් සිදුකිරීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ද නීතිඥවරු ප්‍රකාශ කළහ. සැකකරු වෙනුවෙන් නීතිඥ සවින් පෙරේරා සහ නීතිඥ රුවනි චමින්ද යන මහත්ම මහත්මීහු  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හිරාන් ප්‍රියංකර ජයසිංහ