school-sport-in-trouble

ක්‍රීඩා භාණ්ඩ ආනයනය සීමා කිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් මෙරට පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අපහසුතාවකට පත්ව ඇති බව  කරුණු අනාවරණය විය. ප්‍රසිද්ධ පාසල් රැසකම මෙම ගැටලුව ඇති බවත්, මේ හේතුව නිසා සමහර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අතහැරයාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් පාසල්වල ක්‍රීඩා භාර ආචාර්යවරු පවසති.

විශේෂයෙන්ම අගනුවරින් බැහැර ක්‍රීඩා පාසල්වලට මෙම තත්වය දැඩිව බලපා ඇති බවත්, ක්‍රීඩා භාණ්ඩ හිඟ වීම සහ දැනට පවතින ක්‍රීඩා භාණ්ඩවල මිල අධික ලෙස වැඩි වීම හේතුවෙන් පිට පළාත් ක්‍රීඩා පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අසරණභාවයකට ලක්ව ඇතැයිද පාසල් කිහිපයකම ක්‍රීඩා බලධාරීහු පෙන්වා දෙති. එමෙන්ම පාසල් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් මෙරට දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙම තත්වය දැඩිව බලපා තිබේ. මීට වසරකට පෙර තිබූ ක්‍රීඩා භාණ්ඩවල මිල අද වන විට සියයට 300කින් ඉහළ ගොස් ඇති අතර, මේ සඳහා වත්මන් රජය අවධානය යොමු නොකළහොත් මෙරට ක්‍රීඩාවේ දැවැන්ත කඩා වැටීමක් සිදුවීම කිසිසේස්ත වැළැක්විය නොහැකි බවද ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති.  විශේෂයෙන් මෙරට ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවටද මෙය දැඩිව බලපා තිබේ.

මීට වසරකට ඉහතදී කනිෂ්ඨ ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය තරම් ක්‍රිකට් ආමීන පැවති නමුත්, වත්මන් රජය ක්‍රීඩා භාණ්ඩ ආනයනය සීමා කිර්ම මත ක්‍රිකට් පිති, ක්‍රිකට් පන්දු ඇතුළු ක්‍රිකට් ආම්පන්නවල හිඟයක් මේ වන විට මතුව ඇති බවත් පෙනී යයි. මීට අමතරව මෙරට වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති ක්‍රීඩා වන පාපන්දු, රග්බි සහ මලල ක්‍රීඩා ආම්පන්න වල ද දැඩි හිඟයක් මේ වනවිට ඇතිවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකරන මැදිහත් වීම දැන ගැනීමට අප ඔහුගේ දුරකථනයට ඇමතුම් සහ කෙටි පණිවුඩ තැබුවද ඔහුගෙන් ඒ සඳහා පිළිතුරක් නොවීය.


(පැතුම් ශ්‍රී විජේරත්න)