school-work-crisis

විදුලි බිල ඉහළ යාම, දුරකථන හා අන්තර්ජාල පහසුකම් සඳහා අය කරන මුදල ඉහළ යාම හා කාර්යාල ලිපි ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා විදුහල්පතිවරුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි. මීට අමතරව ජල බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කැබිනට් මණ්ඩලය මෙතෙක් කටයුතු කර නොමැති බවත්, මේ නිසා ජල බිල සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් එම සංගමය. පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට පාසල් මගින් ජල බිල්පත් ගෙවිය යුතු බවට රජය ප්‍රකාශයට පත් කළ බවත්

, මෙම තීරණයට ගුරු විදුහල්පති සංගම් විරෝධය දැක්වීම නිසා ජල බිල්පත රජයෙන් ගෙවන බවට පසුව ප්‍රකාශ කළ බවත් එම සංගමය සඳහන් කරයි. එහෙත් රජයෙන් ජල බිල්පත් ගෙවා නොමැති බව සඳහන් කරමින් ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ ජල බිල්පත්වලට අදාළ මුදල් ගෙවන ලෙස සඳහන් කරමින් පාසල්වලට රතු බිල්පත් පැමිණෙමින් තිබෙන බවත්,

මේ පිළිබඳ අධ්‍යාපන බලධාරින්ට පෙන්වාදුන් විට, බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් ගන්නා බවට ප්‍රකාශ කරන බවත් එම සංගමය පෙන්වා දෙයි. එහෙත් පාසල්වලට ජල බිල්පත් සම්බන්ධයෙන් රතු බිල්පතක් පැමිණෙන තෙක් ගැටලුවට විසඳුම් ලබාදී නොමැති බවත්, රතු බිල්පත්වලට අදාළ ගෙවීම නොකළහොත් පෙර දැනුම්දීමකින් තොරව ජල සැපයුම් විසන්ධි කිමට ජල සම්පාදන මණ්ඩලයට හැකි බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරති.

  විදුලි බිල්පත් හා දුරකථන බිල්පත්වලින් යම් ප්‍රතිශයක් රජයෙන් ලබාදෙන බවත්, ඉතිරී මුදල පාසල් මගින් ගෙවිය යුතු අතර, විදුලි බිල්පත් හා දුරකථන බිල්පත් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කළත් රජය විසින් ගෙවිය යුතු මුදල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත් එම සංගමය පවසයි. එසේම මේ හේතුවෙන් විදුලි බිල ගෙවීමේදී හා දුරකථන බිල් ගෙවීමේදී පාසල්වලට විශාල මුදලක් දැරීමට සිදුව තිබෙන බවත්, මීට අමතරව තොරතුරු තාක්‍ෂණ විෂයට අදාළ වන අන්තර්ජාල පහසුකම් සඳහා මාසිකව වැය වන සම්පුර්ණ මුදලම පාසල් මගින් ගෙවීම කළ යුතු බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පෙන්වා දෙයි. ඡායාපිටපත් සඳහා භාවිත කරන ඒෆෝ කොළ මිල හා ලියුම් කවර සහ මුද්දර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, අදාළ මුදල සම්පුර්ණයෙන්ම පාසල් විසින් දරාගත යුතු බවත් එම සංගමය සඳහන් කරයි.



මීට අමතරව පාසල්වල තිබෙන පරිගණක හා තොරතුරු තාක්‍ෂණ විෂයට අදාළව පරිගණකවල වගකීම් කාලය අවසන් වූ පසු. පරීගණකයක් අලුත්වැඩියා කටයුතු කිරීමට සිදුවුවහොත් එහි සම්පූණ මුදලම පාසල විසින් දැරිය යුතු බවත්, මේ අනුව නිදහස් අධ්‍යාපනය නැති වන තැනට පාසල් පද්ධතිය  පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ප්‍රකාශ කරයි. පාසල් විසින් දැරීය යුතු සම්පූර්ණ මුදල දෙමවුපියන්ගෙන් අයකර ගනිමින් තිබෙන බවත්, මේ නිසා සිසුවෙකු පාසල් යැවීම සඳහා විශාල මුදලක් වැය කරන දෙමවුපියන්ට පාසල් නඩත්තු කිරීමටත් සිදුව තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.


( එච්.අයි. තුෂාර)