sri-lanka-postal-down

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා මුද්දර ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළද, ගාස්තු ඉහළ දැමීම නිසා දෛනිකව තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණය 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.



මුද්දර ගාස්තුව විශාල මුදලකින් ඉහළ දැමීම නිසා මෙම කාලය තුළදී යම් යම් සේවාවලින් දෙපාර්තමේන්තුව සැලකිය යුතු මුදලක් උපායා ගත්තද, ලැබෙන ලිපි ප්‍රමාණය අඩු තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. ලිපි අඩු වීම තුළින් පෙන්නුම් කරන්නේ, ජනතාව තැපැල් සේවාවෙන් ඉවත්වීම බවත්, මේ නිසා තැපැල් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ නැවත සමාලෝචනය. කරන ලෙස විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පවසා සිටියේය.

පසුගිය මස 15 වැනිදා අදාළ ගාස්තු ඉහළ දැමීම සිදුකළ බවත්, එදිනට පෙර සාමාන්‍ය ලිපියක් යැවීම සඳහා රුපියල් 15ක වටිනාකමකින් යුත් මුද්දර අවශ්‍ය වූ බවත්, ගාස්තු ඉහළ දැමීම යටතේ එම මුදල රුපියල් 50ක් වූ අතර, රුපියල් 45ක මුද්දර අවශ්‍ය වූ ලියාපදිංචි ලිපියක් සඳහා වු මුද්දර ගාස්තුව රුපියල් 110ක් බවට පත් වූ බවත් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. මිල සුත්‍ර කට්ටුවක් හරහා මෙම කටයුතු සිදුකළ බවත්, එහෙත් තැපැල් සේවකයාගෙන් හෝ වෘත්තීය සමිතිවලින් මේ පිළිබඳ කිසිදු අදහස් විමසීමක් සිදුනොකළ බවත් හෙතෙම පවසා සිටියේය.



මෙතරම් මුදලකින් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ වෘත්තීය සමිති විරෝධය දැක් වුවත්, එම විරෝධතා නොතකා ගාස්තු අධික ලෙස ඉහළ දැමූ බවත්, මේ නිසා සිදු වූයේ, පාරිභෝගිකයන් ඉවත්වීම බවත් චින්තක බණ්ඩාර මහතා පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබෙන්නේ, ජනතාවට සේවා සැලසීමට බවත්, මේ නිසා තැපැල් සේවාව ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගික ජනතාව අතිශය වැදගත් බවත් ඒ මහතා සඳහන් කළේය.


 (එච්.අයි. තුෂාර)