state-ministers-sworn-in-today

රාජ්‍ය ඇමැතිවරු අද (8 වැනිදා) දිනයේ දිවුරුම් දීමට නියමිත වුවත් ඔවුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමක් නොකරන බව ජනාධිපති කාර්යාලය පවසයි. විෂය පථයක් ගැසට් නොකළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයකු පමණක් පත් කිරීමට නියමිතය. විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක් යටතේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැතිවරු යෝජනා කර තිබුණි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.



රාජ්‍ය ඇමැතිවරු 35-40ත් අතර සංඛ්‍යාවක් ජනාධිපතිවරයා ඉදිරිපිට අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතය. පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ඇමැතිවරු තිස්හතර දෙනෙකු පත්කර තිබුණි. ඔවුන්ගෙන් චන්න ජයසුමන, නාලක ගොඩ​හේවා, ජයන්ත සමරවීර යන හිටපු රාජ්‍ය ඇමැතිවරු මේ වන විට ස්වාධීන වී හෝ විපක්ෂයේ අසුන්ගෙන සිටිති. රාජ්‍ය ඇමැතිවරු ලෙස පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රිවරු තිස්හය දෙනකුගේ නාමලේඛනයක් යොමුකර ඇත. එහෙත් එම මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව තිස්දෙක දක්වා අඩුකළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (7 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි. සනත් නිශාන්ත පෙරේරා හා ලොහාන් රත්වත්තේ යන හිටපු රාජ්‍ය ඇමැතිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(උදයජීව ඒකනායක)