thiilanga-sumathipala-speaks

ආසියානු කුසලාන ජයග්‍රහණය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් පැහැදිලි නැග්මක් පෙන්නුම් කරන බවත්, එය, එක්දින ලෝක කුසලාන දිනාගත් වර්ෂයට පෙර වරිය වූ, 1995 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ තත්ත්වයට බොහෝ නෑකම් කියන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා කියයි. දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් මහත් ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වන සුමතිපාල මහතා මෙවර ආසියානු කුසලාන තරගාවලිය,

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය, කණ්ඩායම් හැඟීම, සැලසුම් බුද්ධිමත්ව ක්‍රියාත්මක කිරීම ආදී සියල්ලම වෘත්තීය මට්ටමට තිබූ ඉතාම සාර්ථක සංචාරයක් බවද කියයි.  ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වතාවට ලෝක කුසලානයක් දිනාගතේ 1996 දීය. ඊට කලින් වර්ෂය වූ 1995 වසරේ ජනවාරි මාසයේදීම, නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේදී පරාජය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවැනි විදෙස් ටෙස්ට් ජයග්‍රහණය අත්පත් කරගත්තේය.

1995 ජූනි මාසයේදී චැනෙල් වනෝජ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීමෙන් අනතුරුව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදීම පැවැති එක්දින තරගාවලියේදීත් පාකිස්තානු කණ්ඩායම 2-1 කින් පරාජය කළේය.

1995 ඔක්තෝබර් මාසයේදී සාජාහි පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදී ප්‍රබල කොදෙව් කණ්ඩායම ලකුණු 90 කින් පරාජය කරමින් සිංගර් ශූරයන්ගේ කුසලාන දිනාගන්නා අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එම වසර අවසානයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරග 3 ට සුදුසුකම් ලබාගනිති. "මට මතක් වෙන්නේ 1995 විතර, අපි සාජා කුසලාන තරගාවලියට ගිය කාලෙත්, අපේ කණ්ඩායමේ මේ වගේ පිබිදීමක් ඇතිවෙලා තමයි 1996 දී අපි ලෝක කුසලානය දිනාගනේ. එතන ඉඳලා, 96, 97, 98 වර්ෂ වලදී, ලෝකයේ ශක්තිමත්ම කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවේ. ඒ යුගය තමයි මට මේ වෙලාවෙදි පේන්නේ..."




“මේ ආසියානු කුසලාන තරගාවලියට අපි ආපු විදිය, ඒකට අවතීර්ණ වෙච්ච විදිය, කණ්ඩායමේ හැසිරිම දිහා බැලුවාම, හැමදෙයක්ම, ඉතාමත් සාර්ථක විදියට කළමනාකරණය කිරිම පැහැදිලිවම පේනවා. "මා හිතනවා දසුන් ශානක, නායකයෙක් හැටියට, කණ්ඩායමට අවශ්‍ය සියුම් වෙනස්කම්, තීයුණු විදියට කළමනාකරණය කරන නායකයෙක්. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් 30%. කට වඩා නායකයාට තමයි දෙන්න ඕන කියල තමයි මම නම් හිතන්නේ" යයි තිලංග සුමතිපාල මහතා විඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

“කවුරුන් කුමක් කීවත්, මේ තරගාවලිය ඉතාමත් අමාරු තරගාවලියක්. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ ප්‍රධාන රටවල් වලට අමතරව, ආසියාන්වේ අනෙක් රටවල් 23 ම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලා, ජයග්‍රහණය සඳහා යන තරගාවලියක් මේක." "ලෝක කුසලාන තරගාවලියට යන වෙලාවෙදි. ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ ඉතාමත් ශක්තිමත් රටවල් දෙකක්. ඉතින් ඒ අයව පරාජය කරමින් අපි ඉදිරියට යන ආකාරයෙන් පේනවා අපේ කණ්ඩායම දිනෙන් දින වර්ධනය වෙමින්, ශක්තිමත්ව ඉදිරියට යන වෙලාවකයි අපි ඉන්නේ කියලා” යයි දෙවතාවක්ම (1998 සහ 2016) ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති වරයාව සිටි සුමතිපාල මහතා පවසයි


( දමින්ද විජේසූරිය)