walana-fake-police-nabbed

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින්, වැටලීම් සිදු නොකරන බවට පවසා විවිධ ජාවාරම්කරුවන්ගෙන් හා සම්බාහන මධ්‍යස්ථානවලින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් සැකකරුවෙක් හොරණ නගරයට ආසන්නයේදී ඊයේ (18) පස්වරුවේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු 34 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකු බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.


වලාන පොලිස් කණ්ඩායමක් පාදුක්ක ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන අතරතුර, අත්අඩංගුවට ගත් ගංජා ජාවාරම්කරුවකු “ඇයි සර්, දැන් මහත්තයෙක් වැටලීම් කරන්නේ නැහැ කියලා ලක්ෂ 5ක් ඊෂි කෑෂ් කරන්න කියලා ගියානේ” යනුවෙන් පවසා ඇත.

ඒ අනුව නිලධාරින් වහාම ක්‍රියාත්මක වී ජාවාරම්කරු වහාම සැකකරුට ඇමතුමක් ලබා දෙමින් ලක්ෂ 5ක මුදල ලබා ගැනීමට හොරණ නගරයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව පොලිස් ආරංචිමාර්ග කියයි.

ගංජා ජාවාරම්කරු දුන් ඇමතුම අනුව සැකකරු ඔහු ඉල්ලූ ලක්ෂ 5ක මුදල ලබා ගැනීම සඳහා හොරණ නගරයට පැමිණ සිටියදී පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ම

ොහු ජාවාරම්කරුවන්ගෙන්, සම්බාහන මධ්‍යස්ථානවලින් මෙන්ම සමාජයේ වැදගත් ලෙස වෙසෙන ඇතැම් පුරවැසියන්ට කතා කොට ඔවුන්ගේ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඔහු සතුව ඇති බවත්,

ඒවා ප්‍රසිද්ධ කරන බවත් පවසා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බවට පොලීසිය  තොරතුරු හෙළි කරන්ගෙන ඇත.  මෙම සැකකරු අරගල භූමියේ ද මසකට අධික කාලයක් රැදී සිට ඇති අතර, එහි සිට ද විවිධ පුද්ගලයන්ගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට කප්පම් මුදල් ගෙන්නා ගෙන ඇති බවට ද පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ. මෙම සැකකරුගේ බියගැන්වීම්වලට ලක්ව ඔහුට කප්පම් මුදල් ලබාදුන් පුද්ගලයන් සිටී නම්, ඒ සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දැනුම් දෙන ලෙසට පොලීසිය ඉල්ලා සිටී.

( ඉන්දිකා රාමනායක)