wannila-ethrtho-speaks

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තරුණයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීති යොදාගෙන වුවද ඔවුන් අතේ කිසිදු අවියක් තිබ්බේ නැතැයි ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී ඊයේ (13) ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. එම තරුණයා මාස ගණනාවක් රදවාගෙන මානසික පීඩනයක් දීම තමාගේ හදවතටද වේදනාවකැයිද එහිදී වන්නිලා ඇත්තෝ කීව්වේය. වසන්ත මුදලිගේ තරුණයා ඇතුළු පිරිස වරදක් කර ඇත්නම් දඬුවම් දිය යුතු අතර එසේ නොවේ නම් නිදහස් කළ යුතු බවද එහිදී ඔහු පැවසීය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් වන්නිලා ඇත්තෝ මෙසේද කීවේය.



“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිතුමන්ට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවකගේ කුසින් වැදු,  මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ  ඒ තරුණයන් වැරැද්දක් කරලා තියෙනවා නම්  වැරැද්දට දඬුවම් කරන එක ගැටලුවක් නෑ. හැබැයි ඒ තරුණයන් මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා  ගෙන දෙන ආකාරයෙන් රඳවාගෙන දඬුවම් කළ  යුතු නෑ. ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච  සමස්ත පිරිස කතා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික වුමවනාවන් නෙවෙයි.

මගේ අදහස ඒ අය කතා කළේ මේ මුළු රටේම අවශ්‍යතාව පිළිබඳවයි. ඒ කතා කිරීම තුළ තමයි අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිතුමන්ට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ. මේ අය අත්අඩංගුවට අරන් තියෙන්නේ මේ රටේ වසර 30ක් පැවැති යුද්දෙට දාලා තිබුණ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිනිඅවියක් හෝ අත්බෝම්බයක් හොයාගෙන නෑ. වැරැද්දක් කරලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න. රඳවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියනේ . පසුගිය කාලයේ මේ රට ලොකු වෙනසකට ලක් වුණා. මම දැකපු විදියට ඒ කාලේ ඒ අය කතා කළේ මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියකුම අත්විඳින ගැටලු පිළිබඳවයි. ඒ කටයුත්තේදී අපේ ගමේ ඉපදිච්ච, අපේ පරම්පරාවේ කැකුළියකගේ කුසින් බිහිවෙච්ච දරුවකුත් මේ තැනට මූලිකත්වය ගෙන සම්බන්ධ වෙලා තියෙනවා.

ඒ කාලේ හැමෝම කතා කළේ ඒ අය සිදු කරන දේ හොඳයි, හැමෝම ඒකට උදවු කරන්න ඕන කියලා.

සමහර වේලාවල්වලදී රටේ ප්‍රධාන පිරිස් පවා ඒ අවස්ථාවන්වලට සම්බන්ධ වෙලා උදවු කෙරුවා. ඒවා දකිද්දී මමත් හිතාගත්තා රටේ සියලු දෙනාටම ඒකෙන් යහපතක්  වෙයි කියලා. බලාගෙන යනකොට දැන් ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා මට පේනවා. ඒ අසාධාරණයි කියලා කියන්නේ, එදා දවසේ හොඳයි කියලා හිතාගෙන කතා කරපු අය අද වෙනකොට අනෙක් පැත්තට ගිහිල්ලා.  වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවකගේ කුසින් වැදූ, මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මට ආරංචි වෙනවා සමාජයේ එක එක කතා. ආදිවාසී මිනිස්සු කියන්නේ අර තැනටත් මේ තැනටත් කතා කරන මිනිස්සු. හැම එකක්ම අවුල් කරන මිනිස්සු කියලා කතා වෙනවා කියලා මට ආරංචියි. හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා  වුණත් සාධාරණයකට කතා කරනවා නම් ඒක තමයි සාධාරණය. මම කියන්නේ ඒ තරුණයන් කරලා තියෙනවා නම් වැරැද්දක් වැරැද්දට දඬුවම් කරන එක ගැටලුවක් නෑ. හැබැයි ඒ තරුණයන් මාස ගණන් රදවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රඳවාගෙන දඬුවම් කළ යුතු නෑ.



ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච සමස්ත පිරිස කතා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික වුවමනාවන් නෙවෙයි. මම ඉල්ලීමක් කරනවා රටේ ජනාධිපතිතුමන්ගෙන් හා අගමැතිතුමන්ගෙන්, ඒ අය පිළිබඳ පරීක්ෂණයක්  කරනවා නම් ඉක්මනින් එය කරලා ඒ අය නිදහස් කරන්න.  කෝටි දෙකහමාරක් විතර ඉන්න රටේ කෝටි දෙකක් විතර මෙම අරගලයට සම්බන්ධ වුණා. හැබැයි ඒ කිසි කෙනකුට ඒ පනත හරි ඒ නීතිය හරි ක්‍රියාත්මක කරලා නෑ. ඒක මේ අයට පමණමයි. මට හිතෙන්නේ ආදිවාසී පරම්පරාවට සම්බන්ධ කෙනෙක් හින්දාමද දන්නේ නෑ මෙහෙම දඬුවම් කරන්නේ ." යැයි ද කීය.


-රංජිත් කරුණාවිර-