වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට අනාරාධිතව ඇතුළු වී කැම කැමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් විසින් අල්ලා දණගස්වා පොලීසිය වෙත භාර දීමේ සිද්ධියක් වාර්තා වේ. මෙසේ විවාහ මංගල්‍ය උත්සවයට පැමිණ ඇත්තේ නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12, 13, 16, 17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු බව පැවසේ . එසේ අල්ලා ගෙන සිටි සිසුන් පස් දෙනා සභාපතිනියගේ දැනුම් දීම පරිදි පොලීසිය පැමිණ වැලිගම පොලීසිය වෙත කැඳවා ගෙන ගොස් තිබේ. පසුව ඔවුන් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම  පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.



මෙම සිද්ධියට ලක්වූ සිසුවෙක් මෙසේ කීය.

“විවාහ මංගල්‍යය වලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අන්කල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීව්වේ. ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී සභාපතිනිය හා තවත් කිහිප දෙනෙක් ඇවිත් අපිට බැණලා පඩි පෙළ ළග දණ ගහගෙන ඉන්න කීවා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැණලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා."

මේ පිළිබඳව වැලිගම සභාපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාළ පිරිස ළමයින් නොව කෑම බලහත්කාරයෙන් කොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි. ඔවුන් දණගැස්වීමක් සිදු නොකළ බවද ඇය කීවාය. කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිස තම කාර්යාලයට කැදවා ප්‍රණීත දිවා ආහාරයක් සපයා දීමට වැලිගම හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා ඊයේ (06) දහවල් කටයුතු කළේය.

-ක්‍රිෂාන් ජීවක ජයරුක්-