
පසුගිය රජයේ ක්‍රියාකලාපයන් විවේචනය කිරීමත් සමග එම රජයේ ඇමැති ධුරයකින් ඉවත් විමට සිදුවූ එක් ඇමැතිවරයකු වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශයි. පසුව ඔහු ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින පක්ෂ එකමුතුවක් ලෙස කටයුතු කරමින් සිටී. වත්මන් ජනාධිපතිවරයා වෙතද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කළද ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි විය. මෙම තත්ත්වය මත මෙම ස්වාධීන වූ පක්ෂ එකමුතුව
පක්ෂ 08 ක් සමග එක්වී ‘උත්තර‘ නමින් අද (04) නව සභාගයක් පිහිටුවීමට තීරණය කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මෙම නව පෙරළිය ගැන සති අන්ත පුවත්පතකට කරුණු දක්වා තිබේ.
ස්වාධීන පක්ෂ එකමුතුව නව සභාගයක් පිහිටුවීමට තිරණය කළේ මේ ආර්ථික අර්බුදය එක්ක වඩා අසරණ වෙච්ච ජන කොටස්වලට පිහිටවීම සඳහායි. ඒවගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න නිසි මාවතක් ආණ්ඩුවවත් වෙනත් පාර්ශ්වයක්වත් පෙන්නනවා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන පුළුල් දේශපලාන සන්ධානයක් ගොඩනගන්න හිතුවා. සැප්තම්බර් හතරවැනිදා මහරගම තරුණසේවා සභාවේදී එය එළිදැක්වෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා අර්බුදයෙන් එළියට එන මාවත පිළිබඳව පළල් සංවාදයක් රට තුළ ඇති කරන්න. එමගින් යමිකිසි දේශපාලන අවිනිශ්චිතතාවයකට පත්වෙලා ඉන්න අතිවිශාල ජනතාවට ඒ අයගේ මාවත නිර්මාණය කරලා දෙන්න. ඒ වෙනුවෙන් අපි මේ දවස්වල මහන්සියෙන් කටයුතු කරනවා.
අපි පක්ෂ අටක් ඉන්නවා. ආරම්භයේදී ඒ පක්ෂ අටෙන් තමයි සභාගය හැදෙන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යද්දි තව තව පාර්ශ්ව මේකට එකතු කරගන්න.තව අය එකතුවෙන්න ඉන්නවා. ඒ එකතුවෙන අය කැමති නැහැ දැන්ම ඒක අනාවරණය කරනවට. ඒ ගොල්ලො හිතනවා ඒ පියවර ගන්න ඕන මැතිවරණයක් ආසන්නයේදී කියලා.
අපිට චීනයෙන්වත් කොහොන්වත් කිසිම ආධාරයක් ලැබිලත් නැහැ. ලැබෙන බවට කිසිම තොරතුරක්වත් නෑ කවුරුහරි කියනවනම් අපිට කොහොන් හරි චීනයෙන් හරි ඇමරිකාවෙන් හරි බලුකිස්ථානයෙන් හරි හම්බෙනවා කියලා කරුණාකරලා ඒක සාක්ෂි සහිතව කියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
අපි ආසියානු කලාපයේ සියලුම රටවල්වලට වගේ ආරාධනා කළා ඉන්දියාවට, චිනයට , ඉන්දුනිසියාවට මාලදිවයිනට, නේපාලයට, වියට්නාමයට, කියුබාවට ඒ ආදි රටවල් බොහොමයකට ආරාධනා කළා. ඇමරිකානු තානාපතිවරියට ආරාධනා කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වන ඇමරිකානු දේශපලාන න්‍යාය පත්‍රයට අපි කිසිලෙසකින්වත් එකඟතාවයක් නැහැ.
මහින්ද රාජපක්ෂට සහය දීම සහ ඔහු සමග යුද්ධය ජයග්‍රහණය කිරීමේ පාලන තන්ත්‍රයේ කොටස්කරුවෙක් වීම ගැන මට කිසිම පසු තැවීමක් නැහැ. ඒ නිසාම තමයි ඔහුව ඇතැම් ව්‍යාජ චෝදනා පදනම් කරගෙන පරාජය කළාට පස්සේ, අපේ රටට සාමය දිනා දීමට අවදානමක් අරගෙන ක්‍රියාකළ නායකයකු පරාජිතයෙක් හැටියට ගෙදර යායුතු නැහැ කියන හැඟීම මත පදනම්ව ‘මහින්ද සුළඟ’ ආරම්භ කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්ෂ ඇතුළුව ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව අපි කලින් තබා තිබ්බ තක්සේරුව වැරදියි කියලා පිළිගන්න වෙනවා.
ඒකට හේතුව ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටියට අපිට හම්බවුණේ. එක පැත්තකින් ඔහු පවුලේ මානසික බාධාවල සිරකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ බලාපොරොත්තුව තියෙනවා මේකෙන් විශ්‍රාම ගිය දවසට තමාගේ මුනුපුරන් දරුවන් සමග ඇමරිකාවේ ජීවත් වෙන්න අවස්ථාව උදාකරගන්න. එතුමාගෙ බිරිඳටත් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා. ඒ නිසා ඇමරිකාව තරහා නොවී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඔහු හැමදෙයක් දිහාම බැලුවෙ. ඒ වගේම දේශපාලන වශයෙන් තිබිච්ච අපරිණතකම නිසා පී.බී ජයසුන්දරලාගේ ගොඩක් ලණු ගිල්ලා. මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබූ තක්සේරුව හරි. හැබැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ අනුව කළ තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වලංගු වුණේ නැහැ.
හිටපු ජනාධිපතිවරයා මානසිකව සිරකරුවෙක් වෙලා හිටියා. පවුලෙන් එන බැඳීම්වල හිරකාරයෙක් වුණා. මොන රටේ ජනාධිපතිද තමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ගේට්ටුවක් වහගෙන එන යන එකට බාධා කරනකොට ඒකට ඉඩ දෙන්නෙ. ඇයි එකත් ඉවසුවේ ඒ මහා මනුෂ්‍යය ගුණාංගයක් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මම හොඳටම දන්න කාරණයක් ඇමරිකානු තානාපති ඇවිල්ලා සතියට තුන්වතාවක් විතර අහනවා අහවලා අයින් කරලාද ඉන්නෙ? නෑ කියනවා. මම කව්ද කියලා කියන්නෙ නැහැ. මම හොඳටම විශ්වාස කරනව මේ ගේට්ටුව ළගින් කට්ටිය අයින් නොකළේ එවැනි මානසික බාධවක් නිසා. ලෝකයේ කිසිම ජනාධිපතිකෙනෙක් එහෙම කරන්නෙ නැහැ. ඒ වගේ දේවල්වලින් ඔහු පෙන්නුවෙ ඒ මානසික බැරියර් එක ඇතුළෙ ජීවත් වෙන කෙනෙක්ගේ චරිතයක්.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න මුල් වුණ කාරණා වුනේ ආණ්ඩුවේ ඉද්දි අපි ඇමැති මණ්ඩලය තුළ විශාල අරගලයක් ආවා. විසිවැනි සංශෝධනයේ පටන් ගැටුමකින් පටන් ගත්තානෙ අපි කිහිපදෙනා හරි කරදරකාරයෝ කියලා හිතුවා. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ. ඊට පස්සෙ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටුම ආවානෙ. එතනදිත් කිසි දෙයක් කරන්න බෑ මේ අය එක්ක වගේ ඒ අයට අපි ගැන හැඟීමක් ආවා. ඊට පස්සේ මේ ආර්ථික අර්බුදය කලින් දැකලා අපි කිව්වනෙ මේ පෙර ක්‍රියාමාර්ග ගන්න කියලා උදය ,මම,වාසු ඒ බලපෑම කළා. අන්තිමට පක්ෂ නායක රැස්වීම කැඳවන එකත් ඒ නිසා නැවැතුණා. ඊට පස්සේ අපි තීරණය කළා මේක එළියට කියනවා කියලා.
මාර්තු දෙක අපි ඒක කිව්වා.මාර්තු තුන උදය ගම්මන්පිලයි මාවයි ඇමැතිකම්වලින් අයින් කරපු ලියුම ආවා. අපිට ඇමැතිකම මහලොකු කජ්ජක් නෙවෙයි. ඒක ගැන හිතනවානම් අපි ඒ වගේ ප්‍රකාශ කරන්නෙ නැහැ. අපි ඒක කළේ එක්කො හැදෙන්න නැත්නම් අපි එළියට බහින්න. දෙකෙන් එකකට සූදානම්වෙලා හිටියෙ. ක්ෂණයකින් ප්‍රතිචාරයක් ආවා ඒ අනුව ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමක් හැටියට අපේ මතය අරන් ගියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අයින් වෙන්න පෙර සැලැස්මක් අපේ තිබුණෙ නැහැ.
දැන් ඉන්දියාව ඩොලර් බිලියන තුනක් දිලා තියෙනවා. ඉවරයිනෙ දැන්. බිලියනයක් ඉවරවෙන්න තෙල් නැව් දෙකයි ඕනෙ. ඒ නිසා මේක ණයකින් බේරෙන්න පුළුවන් කියන එකම වැරදියි.මම කියන්නෙ නැහැ ණය ලැබෙනවනම් ගන්න එපා කියලා. ඒක එකම උත්තරය හැටියට දරාගෙන ගියොත් ඒකෙන් විතරක් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්කම තියෙන්න ඕන ආයෙ ණය ගන්නවා කියනවා වෙනුවට නිෂ්පාදන ආර්ථිකයකට පණ දෙන්න.. සේවා ආර්ථික සහ සුබසාධන ආර්ථිකයක්නෙ අපිට තියෙන්නෙ. මේ ආර්ථික ක්‍රමවලට මාරුකරගන්න ඕන මේක. එහෙම පෑලැන් එකක් නැතුව අයි එම් එෆ් බිබික්කම දිහා බලාගෙන හිටියොත් මිට වඩා අමාරුවේ වැටෙන්න පුළුවන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කළ අතුරු අයවැය දැඩි සත්කාරයේ ඉන්න ආර්ථිකයට පැරසිටමොල් පොවල බඩට අතින් ඇන්නා වගේ එකක්. දැඩි සත්කාරයෙ ඉන්න කෙනාගේ ප්‍රශ්නය පැරසිටමොල්ට්වලින් විසඳන්න බැහැ. එතන තියෙනවා මේ අර්බුදයේ ගැඹුර. ඒක විසඳන්න පුළුවන් විදිහෙ මැදිහත්වීමක් ඒ අයවැයෙන් පේන්නෙ නැහැ.
පොහොට්ටුවත් එක්ක අපෙ කිසිම දීගයක් මතුවට ඇතිවන්නේ නැත. ඒවගේම පොහොට්ටුවෙන් ඉල්ලා කිසිවකුට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා සිතන්නේ නැහැ.ඒක සහතිකයි. ඒ පරිච්ජේදය අවසන්.
(සංවාදය- වරුණි පෙරමුණ - අරුණ)
Comments
Post a Comment
Your comment will be visible after approval