1996-world-cup-housing-scheme

මීට වසර 26කට පෙර 1996 ලෝක ක්‍රිකට් කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනකුට තෑගි ඔප්පුවකින් ලබාදුන් බත්තරමුල්ල ඉඩම් කට්ටි සමූහයේ සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කර ඇති ඉල්ලීමක් නාගරික සංවර්ධන අධිකාරියෙන් යළිත් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ. 1996 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හිටපු ඇමැතිවරයකු වන අර්ජුණ රණතුංග මහතා ඇතුළු එහි ක්‍රීඩකයන් පිරිසක් විසින් විදේශීය ආයෝජකයකු හවුල් කර ගනිමින් මෙම භූමි භාගයේ නව නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට සූදානමින් සිටින බව එහි දී වාර්තා වේ. අර්ජුන රණතුංග මහතා මේ වනවිට ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.



කෙසේ වුවත් තෑගි ඔප්පු මගින් 1996 ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකම භූමි භාගයක ලබාදුන් මෙම ඉඩම් කට්ටි වෙනත් පාර්ශවයක් වෙත පැවරීම හෝ විකිණීම නීතිමය වශයෙන් අවහිර කර තිබෙන බැවින් නාගරික සංවර්ධන අධිකාරිය මෙම නිවාස ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීම මෙලෙස අත්හිටුවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙරේදා (18) බත්තරමුල්ලේ පිහිටි එහි කාර්යාලයේ දී රැස් වෙමින් සිය තීරණය තවදුරටත් වෙනස් නොකිරීමට එහිදී පියවර ගෙන තිබේ.  1997 ජනවාරි 22 වැනිදා ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් මගින් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනකුට 99 අවුරුදු බදු ක්‍රමය යටතේ බත්තරමුල්ල නගරයට ආසන්නයේ රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි හිස් භූමි භාගයකින් එක් අයෙකුට පර්චස් 20 බැගින් එවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය. ඒ එවකට ක්‍රීඩා ඇමැතිධුරය දැරූ එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගිනි.

එහිදී පර්චසයක තක්සේරු වටිනාකම ලෙස තීරණය කර ඇත්තේ රුපියල් දහස බැගිනි. කෙසේ වුවත් අද වනවිට මෙම භූමි භාගයේ තක්සේරු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන හතරක පමණ අගයක් ගනි. ඒ අනුව ක්‍රීඩකයන්ට එහි දී ආසන්න වශයෙන් පර්චස් 300ක් පමණ බෙදා දී තිබේ.

මේ අතර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මීට පෙර අවස්ථාවකදී නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් මුණ ගැසී ඇති අර්ජුණ රණතුංග මහතා යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීම ප්‍රතිෂ්ප කිරීම සම්බන්ධයෙන් දැඩිව අදහස් දක්වා තිබේ. කෙසේ වුවත් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා සිය බිම් කට්ටි ලබාදීම 1996 ලෝක ශුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ප්‍රතික්ෂේපෙ කර ඇතැයි ද වාර්තා වේ.

මෙම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ ඉඩම් කට්ටි ක්‍රීඩකයන්ට පැවරීමේ නෛතික රාමුව තුළ මෙහි කෙරෙන ඉදිකිරීම් විකිණීම් ලෙස එක් එක් පාර්ශ්වවලට පැවරිය නොහැකි බවට ක්‍රීඩකයන්ගේ පාර්ශවයට පෙන්වා දුන් බවයි. එසේ කිරීමට නම් 1997 එවකට ක්‍රීඩා ඇමති එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වෙනුවට අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරකු වන නිවාස සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ විෂය පථයට අයත් රාජ්‍ය ආයතනයක් වීමයි.

1996 මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර්. නුවර ‘ගඩාෆි' ක්‍රීඩාංගනයේදී පැවැති විල්ස් ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දී ඕස්ටේ‍්‍රලියාව කඩුලු හතකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව පළමු වතාවට ලෝක ක්‍රිකට් කුසලාන දිනා ගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා රජය ඇතුළුව දෙස් විදෙස් සුබපතන්නගෙන් සුපිරි පාංග රැසක් හිමිවිය.