How-Ayesha,-who-was-going-to-Canada-was-mistakenly-killed-by-the-police-firing-at-the-robbers

කොළඹ නුවර මාර්ගයේ දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් පළායමින් සිටි වෑන් රථයකට පොලිසිය ඊයේ (02 වැනිදා) කළ වෙඩි තැබීමකදී එක් වෙඩිල්ලක් වැරදීමකින් ඒ ආසන්න බස් රථයක ගමන්කරමින් සිටි තරුණියකට වැදී හිස පසාරු කරගෙනයාම නිසා ඇය ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය.
පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් කොල්ල කරුවන් මියගියේ නැති අතර දෙන්නෙකු පමණක් තුවාල ලබා තිබුණි.



අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 28/ඒ, වන්නිගහවත්ත, හබුරුගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි  ඉරේෂා ශාමලී නමැති අවිවාහක තරුණියකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති ඇය කැනඩාවට යාමට සූදානමින් සිට ඇත්තේ එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවකටය.
වෙඩිවැදීමේ සිද්ධිය සිදුවන්නේ පාන්දර 3 ට පමණය.
බෙන්තර හබුරුගල පදිංචි ඉරේෂා ශාමලී කිරිබත්ගොඩ පදිංචි සොහොයුරා හා ඔහුගේ බිරිඳ සමග අනුරාධපුරයේ දේවාලයකට ගොස් පූජාවකට ගොස් එමින් සිටියදී මෙම ඉරණමට මුහුණ දී ඇත.
ගලෙන්බිඳුණුවැව සිට කොළඹ දෙසට ගමන් ගත් බස් රථයේ පසුපස අසුනේ දකුණු කෙලවරේ වාඩි වී ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ඇය වැරදී ඉලක්ක වී ඇත.

ඊයේ (02 වැනිදා) අලුයම්කාලයේ දංඕවිට මත්පැන් අලෙවිසල ඉදිරිපිට සැකකටයුතු වෑන් රියක් නවතා අලෙවිසලට පිරිසක් ඇතුළු වී ඇති බවට කාන්තාවක් දංඕවිට පොලිසියට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජංගම මුර රථයක් එම ස්ථානයට පිටත් කර තිබේ. පොලිස් ජීප්රථයක් පැමිණෙනු දුටු කොල්ලකරුවන් වෑන් රථයකින් පැනයාමට තැත්කළ අවස්ථාවේදී පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තබා ඇත. එම වෙඩි ප්‍රහාරය ගලෙන්බිඳුනු වැව සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයටද වැදුණ අතර එම බසයේ සිටි තරුණිය මියයන්නේ ඒ අනුවයි.

ඇය තුවාල ලැබීමෙන් පසුව වතුපිටිවල මූලික  රෝහලට රැගෙන යන අතරවාරයේ මියගිය බව දංඕවිට පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
 ඇයගේ හිස ප්‍රදේශයට වැදුණු වෙඩි උණ්ඩය එක් ඇසක් ළඟින් පිටව ගොස් තිබිණි යැයිද නිලධාරියා පැවසීය.


කුඩා වෑන් රථයකින් පැමිණි මෙම කොල්ලකරුවන් එම අවස්ථාවේ පලාගොස් වෑන්රිය එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ දමාගොස් ඇත. කොල්ලකරුවන්ට ද වෙඩි වැදී ඇති අතර සිදුවූ තුවාලවලට ප්‍රතිකාර සඳහා එක් කොල්ලකරුවකු රාගම රෝහලට ඇතුළත් වී තිබේ. පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එම කොල්ලකරු රෝහලට රැගෙන ආ ත්‍රිරෝද රථයේ රියැදුරුද පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකරුවන් මත්පැන් අලෙවිසල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් බිඳමින් කළ හොරකම් 11ක් පිළිබඳව පොලිසිය විමර්ශන සිදුකර ඇත.
මසකට පමණ පෙර නවගමුව පොලිසිය වාහන ජාවාරමක් සම්බන්ධයෙන් මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදීත් ඔවුන් බේරී පලාගොස් තිබූ බවට කරුණු හෙළි වී තිබේ.
මියගිය තරුණියගේ සිරුර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.