The-Indian-Supreme-Court-rejects-the-proposal-to-make-the-cow-the-national-animal

ඉන්දියාවේ දැනට ජාතික සත්වයා ලෙස නම් කර ඇති බෙංගාල කොටියා වෙනුවට
හින්දු දහමේ පූජනීයත්වයට ලක්වන ගවයා නම්කරන ලෙස ඉල්ලන ලද පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ගවයා ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස රජයට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක්  සඳුදා සලකා බැලූ අවස්ථාවේ SK Kaul සහ Abhay S Oka යන විනිසුරු මඩුල්ල පෙත්සම්කරුගෙන් විමසා සිටියේ කුමන මූලික අයිතිවාසිකමකට මෙය බලපාන්නේද යන්නයි. "මේක උසාවියේ වැඩක්ද? ඇයි මේ වගේ පෙත්සම් දාන්නේ? උසාවියට ​​එද්දී නීතිය සැහැල්ලුවට ගන්න එපා" විනිසුරු මඩුල්ල කියා තිබේ.


පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ගව ආරක්ෂාව ඉතා වැදගත් බවයි.
විනිසුරු මඩුල්ල නීතිඥවරයාට අනතුරු ඇඟවූයේ මෙවැනි යෝජනාවක් සම්මතවූවොත් එය රටේ පිරිවැය සම්බන්ධ බලපාන ගැටලුකාරීත්වයන් මතුවිය හැකි බවයි. නීතීඥ මහතා පෙත්සම ඉල්ලා අස්කර ගත් අතර තමන් රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමක් මත මෙය ගෙන ආ බව පැවසීය.
ගවයා ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස  ඉල්ලා රාජ්‍ය නොවන සංවිධානයක් වන ගෝවන්ෂ් සේවා සදන් සහ තවත් අය විසින් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස විභාග කරන ලදී.

ඉන්දියාවේ ජාතික  සත්වයා ලෙස රාජකීය බෙංගාල කොටියා, Panthera tigris නම් කර ඇත.

The magnificent tiger ලෙස නම් කර ඇති මෙම කොටියා යනු තද පැහැති ඉරි සහිත ඝන කහ පැහැති ලොම් සමක් ඇති සතෙකි. කරුණාව, ශක්තිය, කඩිසරකම සහ දැවැන්ත බලයේ සංකලනය කොටියාට පැවතීම නිසා ඉන්දියාවේ ජාතික සත්වයා ලෙස එහි අභිමානය ලබා දී ඇතැයි විස්තර කර තිබේ.
 මීට අමතරව ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස ඉන්දියානු මොනරා, (Pavo cristatus) නම් කර ඇති අතර ජාතික උරුම සත්වයා ලෙස ඉන්දියානු අලියා (Elephas maximus indicus) නම් කර ඇත.
ජාතික ජලජ සත්වයා ලෙස ගංගාශ්‍රිත ඩොල්ෆින් (Platanista gangetica) හා ජාතික උරගයා ලෙස නාගය  (Ophiophagus hanna)නම් කර ඇත.
කෙසේ වෙතත් හින්දු දහමේ පූජනීයත්වයට ලක්වන ගවයාට ඉන්දියාවේ ජාතික සංකේත අතර තැනක් නැත.