anthare-story

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යපාරය අද ඊයේ ගොඩනැගුණක් නොවේ. එය අවම වශයෙන් දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ වර්තමාන ගාමක බලවේගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයයි. කලක් 'අවිශිබම'යන කෙටි නාමයෙන් හැඳින්වූ එය අද වන විට මෙරට ඕනෑම අයෙකුට 'අන්තරේ" යනුවෙන් හුරුපුරුදුය. මේ දිනවල අන්තරේ ගැන නිතර නිතර කතාබහ කෙරෙන නිසාත්, ඉකුත් කාලය පුරාවටම අන්තරේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිරන්තර පුවත් මවන්නක් වූ නිසාත් එහි ඉතිහාසයේ සිට විමසුමක් කළෙමු.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇරඹුම

1935දී මෙරට පළමු වාමාංශික දේශපාලන පක්ෂය ලෙස සමසමාජ පක්ෂය ඇරඹී එවකට ශිෂ්‍ය ප්‍රජාව වාමාංශික අදහස්වලට ඇදගැනීමට සමත්විය. එතැන් පටන් ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික අදහස්වලට නැඹුරු හැඩයකින් යුක්තව ක්‍රියාත්මක විය. මෙරට විශ්වවිදහල ඉතිහාසයේ පළමු අරගලය ඇරෙඹෙන්නේ බිත්තරයක් මූලික කරගෙන 1949 වසරේදී ජේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. විශ්වවිද්‍යාල සිසුන් සදහා සිය ආහාර වේලට ලැබෙන බිත්තර භාගය වෙනුවට සම්පූර්ණ බිත්තරයක් ඉල්ලා මෙම අරගලය ක්‍රියාත්මක විය. ඒ ආසන්න කාලයේම සිසුන්ට වාහන ගාල් කළ හැකි පෞද්ගලික රථගාලක් ඉල්ලමින් අරගලයක්ද දියත් විය. කෙසේවුවද 1960 දශකයේදී ශ්‍රී ලංකාවේ සියලු පාසල් රජය යටතට ගැනීමත්, සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම් අවස්ථාව ලැබීමත් සමග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මෙරට සාමාන්‍ය පවුල්වල දරුවන්ටද එකතුවීම් අවස්ථාව සැලසිණි. (ඒ දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හිමිව තිබුණේ සමාජයේ වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණි.) ඒ හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය පුළුල් වූ අතර, එය දේශපාලනිකවද නවමගක් ඔස්සේ ගමන්කරන්නට විය.



අන්තරේ ඇරඹීම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නාමිකව  ඇරඹෙන්නේ 1969 ජුනි මස 18වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. එහි ප්‍රථම කැදවුම්කරු වශයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැල්කම් විජේසිංහ පත්විය. මීට හේතු වූ ප්‍රධාන සංසිද්ධිය වූයේ 1965 දෙසැම්බර් 05වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් දෙපාර්ශවයටම බරපතළ තුවාල සිදුවී තිබීමය. කෙසේනමුත් එය විධිමත් ලෙස ක්‍රියාකාරී වන්නේ 70 දශකයේ අගභාගයේදීය. 1978 වසරේදී මෙරට එවකට පැවති සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් එක්ව අන්තරේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විධිමත් සහ සංවිධානාත්මක ලෙස පිහිටුවාගනු ලැබිණි. එහි මුල්ම කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාන්ත බණඩාර ශිෂ්‍යයා පත්විය. එතෙක් ශිෂ්‍ය ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි අවිශිබම හෙවත් අන්තරේ 1978දී හාල්පොත් කප්පාදුවට එරෙහි අරගලයත් සමග ජනතා අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම ඇරඹීය. එතැන් පටන් ඔවුන් අද දක්වාම නිදහස් අධ්‍යාපනය, ජනතා ඉල්ලීම් ඇතුළු බොහෝ කාරණා වෙනුවෙන් අරගල කරන අතර, ඒ ඔස්සේ රටට දිනා දුන් දේ බොහෝය.

අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කිරීම

1982 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනා අධ්‍යපන ධවල පත්‍රිකාව මෙරට ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් විය. අනිවාර්ය අධ්‍යාපන සීමා 09 ශ්‍රේණියේ සිට 08 දක්වා පහතට දැමීම සහ 8 ශ්‍රේණියේදී සහතිකයක් ලබාදීම, සාහිත්‍යය හා ඉතිහාසය පාසල් විෂයමාලාවන් ඉවත් කිරීම, පාසල් අධ්‍යාපනයට අඛණ්ඩ ඇගයිම් හදුන්වාදීම, පාසල් අධ්‍යාපන වියදම් සඳහා රජයේ බර

අඩු කිරීම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම, පර්ෂද පාසල් හඳුන්වාදීම. මුදල් අය කරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් ආරම්භ කිරිම සහ සරසවී ප්‍රවේශයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම යන යෝජනා ඊට ඇතුළත් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට එරෙහිව අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර, එය දිවයින පුරා ඇවිද ගියේය. පනත පාර්ලිමේත්තුවට ගෙනා 1982 ජනවාරි 20වැනිදා දසදහස් ගණන් සිසුන් සහ මහජනතාව පාර්ලිමේන්තුව (වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය) වටලමින් උද්ඝෝෂණයක් සිදුකලහ. එහිදී ආණ්ඩුව පොලීසිය යොදවා අමානුෂික ප්‍රහාරයක් එල්ල කරමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කළ අතර, එයින් ආණ්ඩුව කෙරෙහි විශාල අප්‍රසාදයක් ඇති විය. අවසානයේ අදාළ පනත හකුළාගැනීමට රජයට සිදුවිය.

උතුරු කොළඹ (රාගම) වෛද්‍ය විද්‍යාල සටන

අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලිය යටත් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත යටතේ 1981දී ගැසට් නිවේදනයක් හරහා ඇරඹිණි. ඊට මුල සිටම විරෝධය එල්ල විය. 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතුකරනු" යන සටන්පාඨය මූලික කරගනිමින් දැවැන්ත අරගලයක් ආරම්භ වූ අතර, අරගලය සඳහා නායකත්වය දුන් පද්මසිරි ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඇතූළු ශිෂ්‍ය නායකයන් ගණනාවක් ඝාතනය කෙරිණි. කෙසේ වුවද අඛණ්ඩ අරගලය හමුවේ පෞද්ගලිකව විද්‍යාලය ජනසතු කෙරුණු අතර, එය කැලණිය සරසවියට අනුයුක්ත කරන ලදී.

අන්තරේ ප්‍රබල මර්දනයකට

මේ කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැඩි මතයකට ලක්විය. විශේෂයෙන් 1986 සිට 1990 දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කදවුම්කරුවන් සියලු දෙනා උතුරු කොළඹ සටනේදී හා 1987-1990 කැරැල්ලේදී ඝාතනය කෙරිණි.රංජිතම් ගුණරත්නම්, මච්චාගම සේනාරත්න, නිමල් බාලසූරිය. වෙනුර එදිරිසිංහ, උදේනි බන්දුල දිසානායක, සිසිර කිර්ති ජයවර්ධන, අතුල සේනාරත්න ආදීහු ඒ අතර වූහ.  අදටත් අන්තරේ සටන් පාඨ අතර 'අපි යන්නේ කායිපාරේ - ත්‍රිමා වෙනුර ගිය පාරේ' යනුවෙන් සටන් පාඨයක් ඇසෙන්නේ ඔවුන් එදා ජිවිතෙ පරිත්‍යාගයෙන් කටයුතු කළ හෙයිනි. ඊට අමතරව ඒකාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් 600කට අධික පිරිසක ඝාතනය කර තිබිණි. කෙසේවුවද ජීවිත පරිත්‍යාගයෙන් සිදුකෙරුණු ඒ සටන නිමා වූයේ අදාළ පොද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගනිමිනි. අදටත් එය මෙරට වාර්ෂිකව වෛද්‍යවරුන් සිය ගණනක් බිහිකරන වෛද්‍ය පීඨයක් ලෙස එය ක්‍රියාත්මක වෙමින් පවතී.



සයිටම් අරගලය

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 2008 වසරේදී ඇරඹි ශිෂ්‍ය සටන මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් දැවැන්ත අරගලයකි. මෙම අරගලයද රාගම සටන මෙම දිවයින පුරා ව්‍යාප්තවීය. සියලු විත්තිකයන්, සමාජ ක්‍රියාකාරින් පාහේ ඊට සහයෝගය ලබාදුන්හ. උද්ඝෝෂණ, සංකේත වැඩවර්ජන, පන්ති වර්ජන, අඛණ්ඩ සත්‍යග්‍රහ, පාගමන් මෙන්ම මාරාන්තික උපවාස දක්වා වසර ගනාවක් ඇදී ගිය මෙම අරගලය ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, සිරගත කිරීම්, පැහැරගැනීම් ඇතුළු දැවැන්ත මර්දනයක් යටතේ  ක්‍රියාත්මක විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක බණ්ඩාර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර (ජනක - සිසිත) 2012දී අතුරුදන් වන්නේද මේ සයිටම් සටන අතරතුරදීය. කෙසේවුවද අවසානයේදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරුණු අතර, එය ශිෂ්‍ය ව්‍යාපාරය ජයග්‍රහණයකින් අවසන් කළ අරගලයක් ලෙස ඉතිහාසයට එක් විය.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සටන

කොතලාවල පනත අහෝසි කිරිමේ අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් වැදගත් සටනකි. මෙම පනත මුලින්ම ගෙන ආවේ යහපාලන ආණ්ඩුවෙනි. කෙසේ වෙතත් සිසු විරෝධය නිසා එවර මෙම පනත හකුළාගන්නා අතර, යළිත් එම පනත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් ඉදිරිපත් විය. එහිදීද අන්තරේ පාරට බැස ඊට එරෙහිව අරගල කළ අතර, මර්දනය මද වුවද එම පනත යළි හකුළාගැනීමට ආණ්ඩුවට සිදුවිය.

අරගලයේ ගිනිසිළුව

පසුගිය අප්‍රේල් 09 වැනිදා ගාලුමුවදොරින් ඇරඹි මෙරට පොදු මහජන අරගලයේ කැපීපෙනෙන භූමිකාවක්  ඉටු කිරීමට අන්තරේ සමත් විය. විශේෂයෙන්ම ඔවුන් හැඳින්වෙන 'අරගලයේ ගිනිසිළුව' යන විරුදාවලියට සාධාරණයක් කරමින් ගාලුමුවදොර අරගලයට අවශ්‍යම මොහොතේ නව ජීවයක් ගෙන එන්නට ඔවුහු ක්‍රියා කළහ. අරගලයේ උද්වේගකරත්වය බැසයමින් තිබූ අවස්ථා කිහිපයකදීම ඔවුහු රට වටා රොද බැද මහ සෙනගින් කොළඹ පැමිණියහ. එමගින් රට පුරා නැවත නැවතත් අරගලය පිළිබද බලාපොරොත්තු දැල්විණි.

එනවා, නානවා, යනවා

කෙසේ වුවද මේ සියල්ල අතරේ පසුගිය කාලයක් තිස්සේත්, දැනුත් පොදු මහජනතාව අතර ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් නොරුස්නා අදහසක් ඇති වෙමින් තිබේ. විශේෂයෙන්ම පාරවල් අවහිර කරමින් පොදු ජනතාවගේ දෛනික ජීවිතවලට බලපෑම් කරමින් නිතර නිතර විරෝධතා සිදු කළද එමගින් ලැබෙන ප්‍රතිඵලයක් නැතැයි ජනතාව චෝදනා කරති. යම් හේතුවක් නිසා 'එනවා, නානවා, යනවා" යන උපහාසාත්මක යෙදුමින් අන්තරේ ක්‍රියාමාර්ග හඳුන්වන තැනටම එය සිදුව තිබේ.මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තවත් සමාජීය හා දේශපාලන ජයග්‍රහණ ලබාදීමට සමත්ව තිබේ. 1991 දේශීය වෛද්‍ය අරගලය, 1983 ජයතිලක කමිටු වාර්තාව සහ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය දිනා ගැනීම, 1993 පාසල් සංවර්ධන මණ් පනත, 2001 ශ්‍රීනාත් ඩයස් කමිටු වාර්තාව,



2001 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන, 2001 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, 2002 ප්‍රජා මණ්ඩල පනත, 2003 රුහුණ සරසවීම කළමනාකරණ පීඨ අරගලය, 2005 තාරා හැරල්ඩි වාර්තාව. 2005 මහපොළ ශිෂ්‍යාධාර අරගලය. 2012 පොද්ගලික විශ්වවිද්‍යාල පනත, 2014 මහපොළ ශිෂ්‍යාධාර ආදිය අන්තරේ සක්‍රීයව දායකත්වය සැපයූ අවස්ථා කිහිපයකි. ස්වභාවයෙන්ම වාමවාදී දේශපාලන හැඩයකින් යුක්තව පැවතඑන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කලින් කලට විවීධ දේශපාලන සංවිධානව හා ව්‍යාපාරවලට සම්බන්ධිතව සහ බලය බෙදී යමින් පැවතෙයි. කෙසේවුවද එදා මෙන්ම මේ මොහොත් ශිෂ්‍ය ව්‍යාපාරය මරුට නිදහස් අධ්‍යාපනය සහ ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ක්‍රියාකාරි මදිහත්වීමක් සිදුකරමින් සිටියි. ටෙරන්ස් රොඩ්රිගෝ - වැඩබලන කැඳවුම්කරු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ශිෂ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මකවන මූලික හර කාරණා තුනක් යටතේයි. නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම, විශ්වවිද්‍යාල තුළ පවතිත,

විශ්වවිද්‍යාල සිසුන් මුහුණදෙන  අධ්‍යයන සහ සුබසාධන ගැටලු වෙනුවෙන් පෙනී සිටීම සහ රටේ ජනතාව පොදුවේ මුහුණදෙන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම කියන ඒ කාරණා එක්ක තමයි අන්තරේ දුවන්නේ සහ සටන් කරන්නේ, අපි දන්නවා සමාජයක් ඇතුළ ගුරු, කම්කරු, ගොවි ආදී විවිධ බලවේග තියනවා. ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේත් සමාජය ඇතුලේ ක්‍රියාත්මක බලවේගයක්. අපට සමාජය ඇතුලේ යම්කිසි කාර්යභාරයක් තියනවා සහ ඒකට සීමාවක් තියනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට දේශපාලන පක්ෂයක් සිදුකරන කාර්යභාරය කරන්න බැහැ. අපට පුළුවන් සමාජයේ සිදුවන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න සහ මැදිහත්වෙන්න. ඒ හැර දේශපාලන පක්ෂ වගේ බලය ලබා ගන්න හෝ බලය වෙනුවෙන් ක්‍රියාත්මකව බැහැ, සමහරු විලී රාජ්‍යයේ වුණ දේවල් එක්ක සසදලා අපට එහෙම කරන්න බැරිද වගේ ප්‍රශ්න අහනවා. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ඒ ලෙවල් එක් නැහැ.

අපි මැදිහත්වීම සිදුකරන්නේ වෙන විදියකට. නමුත් අපි වැඩ කරලා පෙන්නලා තියනවා. අධ්‍යාපන ධවල පත්‍රිකාවට, උතුරු කොළඹ පෞද්ගලික විශ්වවිදයාලයට එරෙහිව කරපු සටන්වල ප්‍රතිඵල විදියට අදටත් කිසිම ආණ්ඩුවකට බැරී වෙලා තියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි ආණ්ඩුව අපට එරහිව දරුණු විදියට මර්දනය කරන්න. දැන් වුණත් රනිල් වික්‍රමසිංහ දන්නවා අපි හරියට පාරට බැස්සොත්, එයාට ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා අපීව දරුණු ලෙස මර්දනය කරනවා. ඒ වගේම අපි පාරවල් අවහිර වෙන විදියේ උද්ඝෝෂණ  හරහා බලාපොරොත්තුවෙන අපේ පණිවුඩය සමාජගත කරන්න. ඒ නිසාම මිනිසුන්ට ඒක කරදරයක් විදියට දැනෙනවා ඇති. යම් ඉතිහාසයක් පුරාවටම මිනිස්සු අපට බැන්නේ. නමුත් මාස කීපයකට කලින් අරගලය පැවැති කාල මිනිස්සු අපි පිළිගත්තා, අපට ආදරය කළා. ඒක ජනතාවට දැනෙන විදිය, එයාලා දකින විදිය අනුව තමයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. ඊට අමතරව ආණ්ඩුවෙනුත් ඔහොම මතවාද නිර්මාණය කරනවානේ. ඒ හරහා ඔවුන් ජනතාව අතර අපි අපකීර්තියට පත්කරන්න උත්සාහ කරනවා. නමුත් අපි ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා.


(සමිත් බෝධිපක්ෂ - Ada Newspaper)