anuradapura-accident

අනුරාධපුරය ගොවිජන සේවා කාර්යාලයේ  නීති නිලධාරීනිය පැදවූ මෝටර් රථය ඇල්ල ප‍්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් ඇයගේ පියා, මව සහ අවුරුදු තුන හමාරක් වයසැති පුත්‍රයා එතැනම මියගිය අතර නීති නිලධාරිනිය  බරපතල තත්වයෙන් හා පසුපස ගමන්කළ ඇගේ පුංචිඅම්මා සාමාන්‍ය තුවාල ලබා රෝහල්ගතකර තිබේ.


අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ නාගල්ලාගම, රිදීබැදිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථය මාර්ගය අයිනේ වූ සියඹලා ගසක ගැටී ඇත්තේ ඊයේ උදෑසන 11.30ට පමණය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති පුංචි අම්මා වන එම්.එම්. පුංචිමැණිකේ මෙසේ කීවාය.


‘මම අනුරාධපුරයේ අක්කලාගේ දුවලගෙ ගෙදර ගිහිං හිටියේ. මාව හෙට්ටිපොළ කඩවලගෙදර පිහිටි අපේ ගෙදරට ඇරලවන්න තමයි අක්කගේ දුවගේ වාහනයෙන් අපි කට්ටියම ආවේ. ඒ එන අතරතුර තමයි මෙහෙම දෙයක් වුණේ...අපි එහෙන් එනකොට උදේ අට හමාරට විතර ඇති. ඉස්සරහ සීට් එකේ පොඩි බබාත් එයාගෙ සීයත් හිටියා. මමත් අපේ අක්කත් පිටිපස්සෙ හිටියේ. වෙච්ච අනතුර ගැන හිතාගන්නවත් බැහැ."

අනතුර සියැසින් දුටු රිදීබැදිඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙසේ කීවේය.

"මම ඇවිදගෙන එනකොට දැක්කෙ කාර් එක පාරෙ අයිනට කරනවා වගේ. එච්චර වේගයෙන් නෙමේ ආවේ. ඒත් නින්ද ගිහින් වගේ වෙන්න ඇති. ඒත් එක්කම මහා සද්දයක් එක්ක වාහනේ සියඹලා ගහේ හැප්පුනා. අපි ඔක්කොම මෙතෙන්ට දුවගෙන ආවා. ඉස්සරලම අපි ළමයව තමා ගත්තේ. එයාව ගන්න විනාඩි 15ක් විතර ගියා. මම හිතන්නේ ළමයා ගෙනියන කොටත් නැතිවෙලා හිටියේ.
ළමයව වාහනයක දාලා යැව්වා මුලින්ම. අපේ මේ ළඟ නංගි කෙනෙක් තමයි ළමයව අරගෙන වාහනයක ගියේ. වාහනය එළවාගෙන ආපු නෝනව ගන්න තවත් විනාඩි 10ක් විතර ගියා.

එයාට ඒ තරම් අමාරුවක් තිබුණේ නැහැ. එයා දරුවට මොකද කියලා කීප සැරයක්ම ඇහුවා."

අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදු වී ඇති අතර, රථයේ වායු බැලුනය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝටර් රථය පැදවූ කාන්තාවගේ දිවි බේරී ඇති බව ද පොලීසියේ නිලධාරියෙක් කීවේය.  රථය පදවාගෙන ගිය නීති නිලධාරිනි චන්දිමා වර්ණකුලසූරිය බරපතල තත්වයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

මෝටර් රථය අනතුරට පත් වූයේ, මෝටර් රථය පැදවූ නීති නිලධාරිනියට නින්ද යාම හේතුවෙන්බවට සාක්ෂි පවතින බවදඒ ගැන විමර්ශනය කරන බව ද පොලිසිය පැවැසීය.  

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුරය, ගුවන්තොටුපළ පාරේ පදිංචි ආදිත්‍ය මනූල (අවුරුදු 03යි මාස 6යි) එම දරුවාගේ සීයා වන සුනන්ද වර්ණකුලසූරිය (74) සහ මිත්තනිය වන එම්. එම්. ලීලාවතී (70) යන අයය.
අනතුරට පත් පිරිස අනුරාධපුර ගුවන්තොටු පොළ අසල, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඊයේ උදෑසන කුරුණෑගල හරහා කොළඹ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.