anuradapura-court

ලංකා දුම්කොළ සමාගමට සහ ඩී.එස්. ගුණසේකර සමාගමට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව මෙම නඩුව 2023 වසරේ පෙබරවාරි මස 17වැනිදාවිභාගයට ගැනීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුවේ පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබීය. මෙසේ නියෝග කළේ ලංකා දුම්කොළ සමාගමට, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට,

එම සමාගමේ සිගරට් බෙදාහැරීමේ නියෝජිතවරයෙකු වන ඩී.එස්. ගුණස්කර සමාගමට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයටයි.මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ මහතා පවසා සිටියේ 2015 අංක 03 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සංශෝධිත පනතේ 34 (2) වගන්තියට අනුව දුම්කොළ සමාගම එම පනතේ විධිවිධානවලට අනුව ක්‍රියා කර ඇති නිසා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 189වැනි වගන්තියට අනුව මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති නිසා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශ්වය එකඟතාව පළ කරන බවයි. ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසද රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ  පද්මාල් වීරසිංහ මහතා අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා පැවසුවේ පැමිණිල්ල විසින්ම මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් නොවන බවයි. ඒ අනුව නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව 2023 වසරේ පෙබරවාරි මස 17 වැනිදා විභාගයට ගැනීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කරනු ලැබීය. ලංකා දුම්කොළ සමාගමට සහ ඩී.එස්. ගුණස්කාර සමාගමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ රූපමය සෞඛ්‍ය අවවාද නොයෙ දුම් වැටි පැකට් අඩංගු කාඩ් බෝඩ් පෙට්ටි මත සෞඛ්‍ය අවවාද පැහැදිලිව මුද්‍රණය කර ප්‍රකටව නොපෙනෙන ලෙස ප්‍රදර්ශනය නොකිරීම සහ දුම්වැටි පැකට් අඩංගු කාඩ් බෝඩ් පෙට්ටි මත එක් එක් දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු තාර සහ නිකොටින් ප්‍රමාණය නිශ්චිතව දැවෙන ලේබල් හෝ ප්‍රකාශයක් පැහැදිලිව මුද්‍රණය කර ප්‍රකටව පෙනෙන ලෙස ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේය.2015 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා අනුරාධපුර, උනගස්වැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා අත්අඩංගුවට ගත් විවිධ වර්ගයේ දුම්වැටිවල මුළු වටිනාකම . 1,790,505කි.


(අනුරාධපුර -උපාලී ආනන්ද)