aragalaya-before-theft

ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව පැවති කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථානගතව ඇතැයි විගණන  වාර්තාවකින් අනාවරණය වේ. 

ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ට්‍ර අයිතම 12කට අයත් භාණ්ඩ 24ක් ඉන් රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත්පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත..  ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනුම්දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රි ගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයාගත නොහැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.



මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේ වන අතර 2019 නොවැම්බර් මාසයේදී එය නව මාධ්‍ය අංශය යන නාමය යටතේ පවත්වාගෙන ගොස් ඇති බවත් එය භාරගත් භාණ්ඩ පිළිබඳව ද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැති බවත් විගනක වාර්තාවේ සදහන් වේ. මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.  

එම වාර්තාවට අනුව අස්ථානගත වූ භාණඩවලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ රුපියල් 1,77,86,325ක් වටිනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිගණක 78ක්ද,

රුපියල් 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිගණක අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරින්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩි 45ක් අතරින් 28ක්ද ඇතුළත් වන බව එහි දැක්වේ . මාධ්‍ය අංශයේ නිලධාරින්ට ලබාදුන් ජංගම දුරකථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබූ ජංගම දුරකතන 14කින් නවයක්ද අයිපෑඩ් තුනෙන් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව කතරගම ජනාධිපති මන්දිරයේ අයිතිම  12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිති මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද අස්ථානගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 22 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බවද වාර්තාවේ සඳහන් වේ.


මුදිතා දයානන්ද