arjun-mahendran-free

මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු චූදිතයින් 9 දෙනා පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට  2/3ක වැඩි එකඟතාවයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) නියෝග කර තිබේ. චමත් මොරියස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රීපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේ මෙය විභාග විය.

 මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් දස දෙනාට එරෙහිව 2015 වසරේ නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා තව දුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවට වසර 7කට පසු අධිකරණය තීන්දු කිරීම විශේෂිතය.



මෙම නඩුකරය සඳහා පොදු දේපළ පනත යටතේ සමාගමකට චෝදනා එල්ල කළ නොහැකි බවට ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබූ අතර විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ද සමාගමක් මිස පුද්ගලයකු නොවන බව සඳහන් කරන ලදි.

අධිකරණය එම විරෝධතාව පිළිගත් පසු විත්තියේ නීතිඥවරයා ද තර්ක කළේ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අනෙකුත් විත්තිකරුවන් බහුතරයක් ලෙස තමන්ටද එය අදාළ වන බැවින් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති පොදු දේපළ පනත යටතේ ඇති චෝදනා ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

මේ අනුව, ස්ථිර මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති චෝදනා 2022 දෙසැම්බර් 16 වන දිනට ඉතිරි කරමින් අනෙකුත් සියලුම චෝදනා සඳහා නඩු විභාගයක් කැඳවන ලෙසයි.

ඒ අනුව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකළ මහබැංකු බැඳුම්කර නිකුතුවේදී වංචනික ලෙස ක්‍රියා කළ බවට එල්ල වූ නඩුවට අදාළව අර්ජුන් ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයට එරෙහිව තිබූ චෝදනා 14 න් 10ක් ඉවත දැමූණි.



අංක 01 සිට 04 දක්වා වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ සැසියේදී විරෝධතා ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පවසා තිබේ.

2015 පෙබරවාරි 27 වැනිදා සිදුකළ බැඳුම්කර මගඩිය හරහා රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා 23ක් යටතේ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

නීතිපතිවරයා විසින් පොදු දේපල චෝදනා යටතේ මෙලෙස නඩුව ගොනුකර තිබුනේ, මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, අර්ජුන් ජෝශප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, සී.රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් යන අයවලුන්ට එරෙහිව යි.