badulla-thera-abuse

දහම් පාසලට පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවියක දූෂණයකර ඇය පස් මස් ගැබිනියක කළ බව කියන උපැවිදියකු බදුල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාත්තා කාර්යාංශය පවසයි. ඉකුත් මැයි මාසයේ ඉරු දිනයක දහම් පාසලට පැමිණි අවස්ථාවක දී එම දැරිය සැකකාර හිමිනම අතින් කෙළෙසීමට ලක්ව තිබෙන බව කියති. සිද්ධියෙන් මාස කිහිපයකට පසුව අදාළ දැරිය ගැබ්ගෙන ඇති අතර සැකකරු ඉන් කලබලවී එම දැරියත් ඇගේ මවත් ගමෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

දැරිය සමග පැවති ප්‍රේම සම්බන්ධතාවක් මත සැකකාර හිමි නම ඇය සමග පැන ගොස් ඇති බවට ගම පුරා රාවයක් ද පැතිර ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඒ පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි. පොලිසියට අදාළ දැරිය සොයා ගැනීම දුෂ්කර වුවත් අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට බදුල්ල මහ රෝහලට මෙම දැරිය ගැබිනියක ලෙස පැමිණ සිටින බවට එම රෝහලෙන් පොලිසිය වෙත දැනුම්දී තිබිණි. ඒ අනුව  නිලධාරීන් කණ්ඩායමක් බදුල්ල මහ රෝහල වෙත ගොස් එහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි බාල වයස්කාර දැරියගෙන් හා ඇයගේ සාත්තුවට සිටි මවගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.



පසුව ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත මහත්මිය උපක්‍රමශීලීව දැරියගේ  ජංගම දුරකතනයෙන් සැකකරුට කතා කරවා රෝහලේ ලියවිල්ලකට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට ඔහුට පැමිණෙන ලෙස දැනුම්දී ඒ අනුව පැය කිහිපයකට පසු කලිසමක් හා ටී ෂර්ට් එකක් ද හිස් වැසුමක් ද දමාගෙන බදුල්ල රෝහලට පැමිණි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ දහම් පාසලේ සිද්ධිය ගමට ආරංචි වීමත් සමග සැකකරු අදාළ දැරිය හා මව වෙනත් ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් කුලී නිවෙසක නතර කර ඇති බවයි.  තවද එහිදී ඔහු සිවුරු හැර දමා ඇති බවද අනාවරණය වී ඇත. සිද්ධියට සම්බන්ධ 38 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය.