baiden-pakistan

පාකිස්ථානය යනු කිසිදු සැලසුමකින් තොරව න්‍යෂ්ටික අවි පවත්වාගෙන යන ලෝකයේ වඩාත්ම භයානක රටක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කළේ ලොස් ඇන්ජලීස්හි පැවැති ඩිමොක්‍රටික් කොංග්‍රස් ප්‍රචාරක කමිටු පිළිගැනීමේ උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා රුසියාවට සහ චීනයටද බැණවැදීමට කටයුතු කළේය. ව්ලැද්මීර් පුටින්ගේ රුසියාව සම්බන්ධයෙන් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව බයිඩ්න් අදහස් පළකරන අතරතුර පාකිස්තානය පිළිබඳ මෙම ප්‍රකාශය කළේය. බයිඩ්න් එය අවසන් කළේ පාකිස්තානය ලෝකයේ භයානකම රට ලෙස තමා සලකන බව පවසමිනි.



විචාරකයන් පෙන්වාදෙන්නේ බයිඩ්න්ගේ මෙම ප්‍රකාශය එක්සත් ජනපදය සමග සබඳතා වැඩිදියුණු කිරීමට පාකිස්තාන අගමැති ශේබාස් ෂරිෆ්ගේ ආණ්ඩුව දරන උත්සාහයේ පසුබෑමක් ලෙසය. පාකිස්තානයේ න්‍යෂ්ටික අවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර රටවල් මේ වනවිට බරපතළ ලෙස කනස්සල්ල පළ කර තිබේ. පකිස්තානයේ න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදීන්ගේ හෝ ජිහාඩ් කණ්ඩායම් අතට පත්විය හැකි බවට බටහිර රටවල් දිගින් දිගටම බිය පළකරයි.

ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් සංවිධානය බලය අත්පත් කරගැනීම හේතුවෙන් මෙම අනතුර තවදුරටත් තීව්‍ර වී අති බව බටහිර රටවල් පෙන්වාදෙයි.
රුක්ෂාන් බණ්ඩාර