prof-daya-amarasekara
දැඩි මානසික ආතතිය නිසා සිය වටිනා ජීවිතය නැතිකරගත් පේරාදෙණිය සරසවි සිසුවෙකුගේ එම ඛේදාන්තය පිළිබඳ සමාජ මාධ්‍ය තුළින් මතුකරනු ලැබූ උණුසුම් ආන්දෝලාත්මක මතවාද දැන් නිමාවී ඇත. එහෙත් සරසවිය තුළත්. ඉන් පිටතදීත්. සිය ජීවිතයෙන් රටට සමාජයට වැඩක් කළ යුතු යැයි සිතා හැම විටම පෙරමුණ ගත් වටිනා තරුණයෙකු සිය ජීවිත ගමන නවතා දැමිය යුතුය යන බිහිසුණු තීරණයට පැමිණියේ ඇයි ?

යන ප‍්‍රශ්නයට ඉහත මාධ්‍ය සහ තොරතුරු වලින් පිළිතුරක් ලබා දුන්නේ නැත. ඉදිරියටත් ඒ පිළිබඳව සියුම්ව සොයාබැලීම් සිදුවෙතැයි සිතිය නොහැක. එහෙත් මෙහි ආසන්න වශයෙන් සිදුවූ සිදුවීම පමණක් කථා කරනවාට වඩා තවදුරටත් සැබැවින්ම එබදු බිහිසුණු අදියරක් කරා යොමු කරවන සැබෑ සමාජ සංස්කෘතික කාරණා තේරුම් ගැනීම වැදගත් බව කිය යුතුය. එම අවබෝධය ඉදිරියේදී තවදුරටත් මෙබදු ජීවිත එපා කරවන අවාසනාවන්ත තීන්දු ගැනීම් නොකිරීමට සහ ඒවා වළක්වා ගැනීමට ඉඩ හසරක් උදා කරනු ඇතැයි සිතිය හැකිය.



 ලංකාවේ විශ්ව විද්‍යාල වලට පිවිසීම තියුණු තරගයක තීරණාත්මක කඩඉමක් බව නොරහසකි. එම තරගය ජය ගෙන අනාගත උපාධිධරයන්වීමේ සිහිනය සැබෑ කර ගැනීම නූතන විද්‍යාර්ථීන් සෑම කෙනෙකුගේම අහිංසක ආශාවක් බව රහසක් නොවේ. අද විශ්වවිද්‍යාල වලට පිවිසෙන අති මහත් බහුතරය. ග‍්‍රාමීය සහ අර්ධ නාගරික ප‍්‍රදේශවලින් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූවන් වන අතර. පාසල් අධ්‍යාපනයෙන් වැඩි කාලයක් සිය පවුල තුළ විවිධ කි‍්‍රයාකාරකම් වල යෙදුනෝ වෙති. මෙබදු සමාජ පසුබිමක මොවුන් පැමිණෙන්නේ සුවිශාල සමාජ ලෝකයකටයි. විශ්වවිද්‍යාල තුළ සම වයස් කණ්ඩායම් ගුරුවරුන් වෘත්තිකයන් සහ වෙනත් සේවාදායකයින් රැසක් සිටින අතර. එම සමාජ ලෝකය ඔවුන් මෙතෙක් ජීවත්වූ ගැමි සමාජයට වඩා විස්තාරික හා අසීමාන්තික නිදහසකින් යුතුවූවකි.

මේ සැමටම වඩා නූතනයේ දැකිය හැකි විශ්වවිද්‍යාල උප සංස්කෘතිය මෙම තරුණ කොටස් තුළ යම් යම් ගති ලක්‍ෂණ අභ්‍යන්තිකරණය කර ඇති බවද අපි පිළිගත යුතුය. නූතන විශ්වවිද්‍යල සිසුවා සැබවින්ම අවිනිශ්චිත අනාගතයක් වෙනුවෙන් එය දැක දැක අපිරිමිත කැපකිරීම් කරන්නෙකිය යන අදහස එහිලා මුලික වෙයි. අනෙක් අතට විශ්වවිද්‍යාල සිසුන් දිගුකලක් තම ග‍්‍රාමීය සමාජය හා පවුල් ඒකකය තුල ගත කළ ජීවිතය හා විශ්වවිද්‍යාලය තුල ගත කරන ජිවිතය පිළිබඳ සංසන්දනාත්මක හැදෑරීමක්ද මේ සමග සිදුවේ. අද සරසවිය තුළට පිවිසෙන සිසුන් මෙහිදී මුහණ දෙන ප‍්‍රබල සංස්කෘතික පිළිගැනීමක් ඇත.

එනම් තමන් මෙතෙක් තමනට ලබා ගත යුතු බොහෝ දෑ සමාජය විසින් ඔවුනට අහිමි කර ඇති බවත්. ඒ සදහා සංවිධානාත්මක පෙළ ගැසීමක් සිදු කිරීමට සුදුසුම ස්ථානය සරසවිය බවත්ය. සරසවිය ඔවුන් දකින්නේ උපාධියක් ලබා ගෙන පිටවිය යුතු තැනක් ලෙස පමණක් නොව සමාජයේ තීරණාත්මක වෙනසකට මග විවර කළ යුතු බුද්ධිමය ජනමත වේදිකාවක් හැටියටය. එය සත්‍යය කරුණකි. මෙබදු මානසික රටාවක් දරාගත් තරුණයන්ගේ එම ජවය සහ  ඕනෑකම අවියක් කර ගැනීමට දේශපාලන කණ්ඩායම්ද ඒ සමග කි‍්‍රයාත්මකවීම දක්නට ලැබෙන්නකි. මේ තත්වය විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තේරුම් ගැනීමේදි වැදගත්ය. දෙවනුව මෙම උපසංස්කෘතිය විසින් නිර්වචනය කර ඇති යම් යම් ‘‘අනුමතීන්‘‘ පිළිබඳව පොදුවේ පිළිගත හැකි සාපේක්‍ෂ අගයක් නොමැතිවීමද දැක්විය හැක. එනම් පොදුවේ කවුරුත් එකග වූ අවිවාදාත්මක තත්වයකට වඩා සීමිත පිරිසකගේ  ඕනෑකම් මත පිළිගෙන ස්ථාපිත කරගෙන තිබෙන වටිනාකම් කිහිපයකි.

‘‘ජ්‍යෙෂ්ඨයා ‘ජ්‍යෙෂ්ටත්වය‘ ආදිය පිළිබඳව පවතින පිළිගැනීම් මෙහිදී කැපී පෙනේ. නවකවදය යනුවෙන් හදුන්වන සිදුවීම් මාලාවද තේරුම ගත යුත්තේ මේ කාරණය මුල් කරගෙනය. නවකයන් සරසවියට හුරු කිරීමේ කි‍්‍රයාවලියේ කොටසක් ලෙස නවකවදය සිදු කරන්නේය යන්න ශිෂ්‍ය ප‍්‍රජාව ප‍්‍රචලිත කර ඇති අදහසකි. එහෙත් සැබවින්ම සරසවියට හුරු කිරීමට වදයක් අවශ්‍යමද ? වදයකින් තොරව එය කළ නොහැකිද ? අද නවකවදය තුළ පැහැදිලිව හදුනාගත හැකි තවත් දෙයක් නම් ඒ තුළද එක්තරා පන්තිමය විශමතාවයක් දිස්වන බවයි. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සහ තවත් පොදුවේ සුවිශේෂි යැයි සැළකිය හැකි යම් යම් පාඨමාලා හදාරණ සීමිත සිසුන් පිරිසක් එසේ නොවන බහුතරයකගේ දෝෂ දර්ශනයට ලක්වීමයි.

එම තෝරාගනීම තුළ පැහැදිලිව දැකිය හැක්කේ සරසවිය හුරු කිරීමේ කි‍්‍රයාවලිය වදයක් කර ගැනීමට මේ සිසු පිරිස අන් අයට වඩා ප‍්‍රකටව විරුද්ධ වීමයි. එහෙත් විරුද්ධ වන තවත් බොහෝ පිරිස් ඇතද ඉහත කී සුවිශේෂි කණ්ඩායම් මෙන් පෙරට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නොමත. ඒ නිසාම සරසවිය තුළ එක් කණ්ඩායමක් තවත් එබදුම කණ්ඩායමකට එරෙහිව අමානුෂික නවකවද දීම සරසවි උප සංස්කෘතිය ලෙස පොදුවේ නිර්වචනය වී ඇත. අවසානයේ සරසවියේ දක්නට ලැබෙන්නේ මෙම උප සංස්කෘතිය නිසා හටගත් පැහැදිලි පන්ති පදනමකි. ඔවුන් නවකවදය අනුමතකරන්න් සහ  නවකවදය අනුමත නොකරන්නන් වශයෙන් හදුනාගත හැක. මෙය ඉතා සියුම් ලෙස විශ්වවිද්‍යාල ජීවිතයේ තීරණාත්මක ප‍්‍රතිඑල උද්ගත කරමින් ක්‍රියාත්මක වන පැහැදිලි බෙදීමකි.



නවක වද විරෝධීන් සරසවි උප සංස්කෘතියේ කොටස්කරුවන් නොවන බව පිළිගන්නා අතර. ඔවුහු ‘අලයන්‘  නොහොත් පොදු සමාජීය කටයුතු වලට සම්බන්ධ කර නොගන්නා කොන්කර දැමූ පිරිසක් ලෙස සරසවිය තුළ ජීවත් වෙති. මෙබදු මතුපිටින් නොපෙනෙන සමාජීය මුහුණවරක් ගොඩනැගී ඇති නූතන සරසවිය තුළ තවත් කොතෙකුත් යහපත් ලක්‍ෂණ සහ සංස්කෘතික ලක්‍ෂණ ඇතද ඒ සියල්ල අභිබවා ඉහත කී විෂමතාව බොහෝ තැන්හි ඉස්මතුවනු පෙනෙයි. නූතන සරසවිය තුළ සිය ජීවිතය පිළිබඳ ශොචනීය කලකිරීමක් ඇති කිරීමට අවශ්‍ය වට පිටාව සකස් කරන තවත් බොහෝ කාරණා ඒ සමගම පවතින බවද පෙනී යයි. සිය ජීවිතය නැති කර ගැනීමට පෙර විෂාදය නම් වූ මානසික රෝගයේ මූලික ලක්‍ෂණයන් වන
x    සති දෙකකට වඩා පවතින දොම්නසක් පැවතීම
x    බලාපොරොත්තු කඩවීමේ ස්වභාවය
x    සියල්ල එපාවීම
x    කිසිම වැඩක් කිරිමට නොසිතන තත්වයක් ඇති කිරිම
x    තමාට තමා ගැන කළ කිරිම
x    තමාට තම ජිවිතය කරදරයක්ය යන සිතුවිල් තදින් බලපෑම් කිරිම යන ලක්‍ෂණ මෙහිදී තීීරණාත්මක ලෙස හදුනාගත හැකිය.

     ඉහතින් පෙන්වා දුන් පරිදි විවිධ සමාජ සංස්කෘතික පරිසරයන්ගෙන් සරසවිය වෙත පිවිසෙන තරුණ තරුණියන් සිය ජීවිතයේ අපේක්‍ෂා කරන අධ්‍යාපනික බලාපොරොත්තුවෙහි සබෑ මුහුණුවර සැබවින්ම ඔවුන් තුළ ඇති කරන්නේ තිගැස්මකි. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව රැකියාවක් ලබාගැනීම මෙන්ම සරසවිය තුළදීද ඔවුන් මුහුණ දෙනුයේ එක්තරා තරගයක් ලූහු බැද යන තත්වයකට බව රහසක් නොවේ. දැනුම හුදු විභාග ජය ගැනීමට මිස ජීවිතය හා බැදුනු සාධනීය වෙනසක් කරා යොමු කරවන මාධ්‍යයක් නොවන බව නුතන  විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ පැහැදිලිව දක්නට ඇති දෙයකි. අනෙක් අතට දැනට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන බහුතරයක් මාර්ගගත අධ්‍යාපනය යටතේ මුලින් ඉගෙනුම ලබා අවසන් කාලයේ සරසවියට පැමිණියෝ වෙති. ඔවුන් සරසවියේ සැබෑ මහුණුවර හදුනාගන්නේ කෘතීම ආකාරයට බව මගේ අදහසයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ පැවැතිය යුතු විශිෂ්ඨ නායකත්ව ලක්‍ෂණ ඇති කිරීම. තමා තෝරාගත් විෂයෙහි පැහැදිලි නිශ්චිත දැනුම හා ද්වී භාෂා ඥානයක් සහිතව ලෝකය වෙත ගමන් කිරීමේ හැකියාව යන තුන් වැදෑරුම් ලක්‍ෂණ වලට මුලූමනින්ම පටහැනි වූ තත්වයකි අද දක්නට ඇත්තේ. එසේ නම් අද විශ්වවිද්‍යාලවල සිටින දරු දැරියන්ගේ ආතතියේ සැබෑ මුහුණුවර ගැන අප සිතිය යුත්තේ බැරෑරුම්වය.

අනෙක් අතට නූතන විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ දැකිය හැකි තවත් විෂමතාවයක් වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසු ප‍්‍රජාව අතර පවතින දැවැන්ත සංස්කෘතික පරතරයයි. මෙයද නූතන සරසවි සිසුවා මුහුණ දෙන ඛේදයන්ට ජීවයක් සපයන කරුණක් ලෙස හදුනාගත හැකිය. සැබවින්ම ගුරුවරුන් දේශන පැවැත්වීමට පමනක් සීමා වූ කොටසක් නොවන බවත්. ඔවුන් සිසුන්ගේ ජීවිතය හැ බැදී ප‍්‍රායෝගිකව මග පෙන්නන්නන් වශයෙන් කි‍්‍රයාත්මක විය යුතු පිරිසක් බවත්. නොරහසකි. එහෙත් අද එම තත්වය බරපතල ලෙස වෙනසකට ලක්වී ඇත. එයට හේතුව ලෙස මා දකින්නේ නූතන සරසවියේ අධ්‍යයන පරිපාලකයන් සහ අධ්‍යයන ක්‍ෂේත‍්‍රයේ මුල් පුටු හොබවන ආචාර්ය මහාචාර්යවරු ඇතුළු බහුතරයක් දිගු කාලීන ජීවිත අත්දැකීම්වලින් තොර එහෙත් තාක්‍ෂණික ඥානයෙන් සහ විෂය ඥානයෙන් පමණක් පරිපූර්ණ වූ ඒ නිසාම සිය අධ්‍යයන ඉලක්ක සපුරාගෙන සිටින පිරිසක් වීමයි. ආචාර්ය උපාධියක් ලබාගැනීම සහ මහාචාර්ය ධූරයක් ලබා ගැනීම අධ්‍යයන ජීවිතයේ පරිසමාප්තිය ලෙස සැළකිය නොහැක.

ඒ සමග වෘත්තීය සහ ජීවිත අත්දැකීම් මුහුකුරාගිය තත්වයක් ඔවුන්ගේ පෞරුෂය තුළ පැවැතිය යුතුය. හැට හැත්තෑව සහ අසූව දශක තුළ සරසවියේ ප‍්‍රකටව සිටි බොහෝ ඇදුරන් මෙබදු ගුණයෙන් යුතු ගුරු උතුමන් බව අපට සිහිපත් කළ හැකිය. මෙබදු තත්වයක් යටතේ අද ගුරුවරයා වෙත ලංවීමට සරසවි සිසුවා තුළ පෙළඹිමක් ඇති නොවේ. ගුරුවරුන් තුළද සරසවි සිසුන් පිළිබඳව ඇත්තේ ආගන්තුක හැගීමකි. ‘මගේ හිතේ තෙරපෙන ගැටලූව මේ ගුරුවරයාට කීවොත් මට සහනයක් ලබාගතහැකිය‘ යන විශ්වාසය සිසුන් තුළ ජනිත වන්නේ උතුම් ගුරු ගුණ ඇති ගුරු චරිත සරසවි උප සංස්කෘතිය තුළ පැවතියහොත් පමණී. එහෙත් එබදු වාතාවරණයක් නූතනයෙහි දක්නට නොමැති බව පැහැදිලිව කිව හැක. නොබෝදා මිය ගිය සිසුවා අවසන් වරට ලියා ඇති ලිපියේ සදහන් මේ කරුණ අප සිහිපත් කළ යුතුය. ‘තමාට කිසිවෙකුගෙන් බාධාවක් සිදු නොවුනහොත් තමා මහවැලි ගගේ සිටින බවය‘ ඔහු ලියා ඇත්තේ. සැබවින්ම ඔහු බලාපොරොත්ව සිට ඇත්තේ තමාගත් තීරණයට සහේතුකව බාධා කිරීමකි.




ජීවිතය තමාට නොවටිනා දෙයක් බවට ඔහු ගත් තීරණය මුළුමනින්ම වැරදි සහගත එකක්ය යන්න පෙන්වා දෙන දයාබර බාධාකිරීමකි. එම බාධා කිරීම කිරීමට කිසිවෙක් ඔහු වෙතට නොපැමිණි අතර. එයට හේතුව වුයේ ඔහු සත්‍ය වශයෙන්ම හදුනාගත හැකි තරම් සමීප සබදතාවයක් නොවීමයි. අවසානයේ ජීවිතය වැඩකට නැති දෙයක් බවට තමාගත් තීරණය නිවරදි යැයි සිතා ඔහු මහවැලි ගගට බිලිවිය.
මෙහි තවත් පැත්තක් අප හදුනාගත යුතුය. එනම් අද සමාජය තුළ ප‍්‍රචලිත ප‍්‍රබල මාතෘකාවක් වන ‘අරගලය‘ විශ්වවිද්‍යාලය තුළට පිවිස ඇති ආකාරයයි. රට තුළ සිදුවූ දැවන්ත සිදුවීමක් වන අරගලය අද විශ්වවිද්‍යාල උප සංස්කෘතියට අහිතකර නවාංග රැසක් එකතු කර ඇති බව පෙනේ. සරසවිය තුළ විධිමත් පරිපාලනයක් ගෙන යන ආයතනික රටාව නිසි ලෙස තේරුම් නොගෙන තම බලය එම ව්‍යුහීය බල රටාව බිද දැමීමට යොදාගැනීම තම හදුනාගත් අරගලය හා සමාන වීර කි‍්‍රයාවක් ලෙස සිතීම ඉන් පලමු නවාංගයකි. පීඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් ඇතුළුව සරසවියේ පරිපාලන ධූරාවලිය මුළුමනින්ම තමන්ගේ අත්අඩංගුවට ගැනීම කාලීන සමාජ අවශ්‍යතාවයක්ය යන ව්‍යාජ මතය අද බොහෝ සරසවිවල ගැටුම් පිටුපස අපට හදුනාගත හැකිය.


සරසවියේ පැරණි සිසු අරගල තුල වාස්තවික සමාජයේ කාලීන වශයෙන් දැක්නට තිබූ අරගලයන්ගෙන් උකහා ගත් කාරණා සරසවි උප සංස්කෘතියට ඇතුළු කර ගැනීමක් දක්නට නොලැබුනද අද එය වෙනස් වී ඇත. මේ තත්වය සරසවිය අද මුහුණ දී සිටින බරපතල ව්‍යාකූල තත්වයට හේතුවී ඇත.
නූතන නවීකරණය වන සමාජය නවීකරණයේ තරමටම දේශපාලනීකරණයද වේගයෙන් සිදුවන සමාජයකි. මෙබදු සමාජයක විශ්වවිද්‍යාල සිසුවා බොහෝ පිරිසකගේ අතකොලූවක් හෝ ආයුධයක් බවට පත්වීම ස්වභාවිකය. මෙය ගැඹුරින් තේරුම් ගැනීම පළමු කොට වැදගත්ය. ගුරුවරුන් පරිපාලකයන් සහ සිසුන් යන තුන් කොටසම එකමුතුවෙන් නූතන විශ්වවිද්‍යාල සංස්කෘතියට වැඩදායක හරවත් සංකල්ප සහ වෙනස්වීම් හදුන්වාදිය යුතුය. එබදු හරවත් වෙනස්වීම් වලට බුද්ධිමත් සිසුන්ගේ සහය දිනාගත හැක. සැබවින්ම අපි විශ්වවිද්‍යාල වලට එන්නේ ඇයි ? විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කුමක් නිසාද ?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශාල වැටුපක් ලබා දෙන්නේ ඇයි ? විශ්වවිද්‍යාල වලින් අපේ ජීවිත වලට ලබා ගත හැක්කේ කුමක්ද ? යන්න ගැන වෙන් වෙන්ව නොව සාමුහිකව සාකච්ජා කළ යුතුය. මෙහිදී සරසවි සිසුවා පමණක් තනිකොට මෙම සංවාදය ගෙනයා නොහැක. ආතති කළමනාකරණය පිළිබඳ බොහෝ මතිමතාන්තර විශ්වවිද්‍යාලය තුළ ඉගෙනීමට ඉගැන්වීමට ලැබෙන බව අපි දනිමු. එහෙත් අදට අවශ්‍යව ඇත්තේ දැනට සරසවියේ දක්නට ඇති මතුපිටින් නොපෙනෙන මෙම ව්‍යාකූල සමාජ සංස්කෘතික රටාව පිළිබඳ බුද්ධිමත් හරවත් අධ්‍යයනයකි. පේරාදෙණි සරසවි සිසුවාගේ ඛේදනීය මරණය සරසවියට උගන්වන්නේ එබදු පාඩමකි.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා අධ්‍යනංශයේ
මහාචාර්ය දයා අමරසේකර