Removing-taxes-on-five-ingredients-will-reduce-the-cost-of-sanitary-napkins

සනීපාරක්ෂක තුවා දේශීයව නිෂ්පාදනය වෙනුවෙන් ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැනවූ බදු සියල්ල රජය විසින් ඉවත් කර තිබේ.

කාන්තාවන් සහ පාසල් සිසුවියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

තවද, ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.



ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50කින් හෝ 60කින් අඩුවීමට නියමිත අතර, එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් හෝ රුපියල් 270ක් වේ.

මේ අතර, ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල සියයට දහඅටකින් හෝ දහනවයකින් අඩුවීමට ද නියමිතය.

අදාළ නිෂ්පාදකයන් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇත.



ඒ අනුව, රේගු ආනයනය මත වූ සියයට පහළොවක බද්ද, සියයට දහයක් වූ රේගු ආනයන බද්ද, සියයට පහළොවක් වූ සෙස් බද්ද සහ සියයට දහයක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) සහ අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය කර ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.

මෙම සියලු ප්‍රතිලාභ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දෙයි.