ආහාර කියූ විට බොහෝ දෙනකුට මතක් වන්නේ පෝෂණිය වුවත්, ආහාර කියන්නේ අතැම්විට පෝෂණයට එහා ගිය අවශ්‍යතාවක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකියි.
සමහර රෝගී තත්වයන් නිසා ඇතැම් ආහාර සීමා කරන්නට උපදෙස් ලැබුණද. මුළුමනින්ම ආහාරෙ වේල් මගහරින්නට කිසිම අවස්ථාවක වෛද්‍ය උපදෙස් නොලැබෙන අතර, ආහාර පාලනය යනු මුළුමනින්ම ආහාර වර්ජනය කිරීමක් නොවන බව පළමුව සිහි තබාගන්න. සමහරු සිරුරේ බර අඩු කර ගත්තට සහ ස්ථූලතාව අඩු කර ගන්නට සිතා ආහාර වේල් මගහැරීමට හුරුපුරුදුව සිටිනුයේ තමන්ගේ ආහාරවේල්, අධි බර සහ ස්ථූලතාව කෙරෙහි බලපාන එකම සාධකය සේ සලකමිනුයි.
දියවැඩියාව සම්බන්ධයෙන් අපි කවුරුත් දන්නේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීමේ රෝග තත්ත්වයක් ලෙසයි. නමුත් කිසිවිටක රුධිරගත සීනි ප්‍රමාණය නිසි ප්‍රමාණයට වඩා අඩුවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ සැලකිල්ල යොමු නොවීම අවසානයේ වඩා තීව්ර සංකුලතාවන් සහිත ගැටලු ජීවිතය වෙත කැදවන්නට පුළුවන්. හයිපොග්ලයිසීමියා යනු එවන් තත්වයක්.
ඔබත් හයිපොග්ලයිසීමියාවට අතවනන පුද්ගලයෙක්ද? නොපමාව විමසා බලන්න.අපේ ශරීරයේ ඇති රුධිරගත සීනි මට්ටම නැතිනම් ග්ලූකෝස් මට්ටම 70mg/dc (4mmol/c) වඩා අඩු වීම වෛද්‍ය විදයානුකූලව හඳුන්වනු ලබන හයිපොග්ලයිසීමියා (Hypoglycemia) නමින්.මෙය බැලූ බැල්මට ඔබ දකින්නේ සුළු තත්වයක් ලෙස වුවත්, මෙය ඉතාම බරපතළ තත්වයක් බව ඔබේ සාමාන්‍ය දැනුම අතරට අනිවාර්යයෙන්ම එක්විය යුතු කරුණක්.
හයිපොග්ලයිසීමියාවේදී සිදුවන්නේ කුමක්ද? මොළයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩුවීමක් සිදුවීමයි. එයින් මොළයේ යම් යම් ක්රියාවිරහිතභාවයන් ඇතිකරනවා. සියලු ප්‍රශ්න ආරම්භ වෙන්නේ එයින්. සමහර විට අධික නිදිබර ගතිය. ඒ සමගම දහඩිය දැමීම, ක්ලාන්ත බවක් දැනීම, හෘද ස්පන්දනය වේගවත් වීම, හිසරදයක් ඇතිවීම, වචන ගොත ගැසීම, අධික කුසගින්න, හැසිරීම් රටාවී මතුවන වෙනදා නැති වෙනස්කම්, අතපය පණ නැති වීම, වලිප්පුව මෙන්ම සිහි නැතිවීම යම් අයෙකුගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීම පිළිබඳ සංඥා ලස මතුවන්නට පුළුවන්. ඔබ දියවැඩියා රෝගය නැතහොත්, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි බව කලින් හදුනාගෙන සිටින රෝගියෙකු නම්, මෙවන් ලක්ෂණ මතු වීම ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වීම නැතිනම් පහළ බැසීම පිළිබඳ ලක්ෂණ ලෙස හඳුනාගන්නට වඩා පහසුවක් ඇති වේවි.
විශේෂයෙන්ම ඔබ ඉන්සියුලින් භාවිත කරන්නෙකු නම් මේ රෝග ලක්ෂණ පිළිබඳ හොද අවධානයකින් පසුවීම සහ එවන් වෙනස්කම් එකක් හෝ කීපයක් මතුවන විටම ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්, ඔබ දියවැඩියාව සම්බන්ධ ප්‍රතිකාර ලබන්නෙකු නොවන නමුත්, ඔබ නොදැනුවත්වම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි තත්ත්වයක් පැනනැගිය හැකි නිසා, එවන් ලක්ෂණ මතු වූ වහාම ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වී මෙහි සඳහන් යමක් ලබා ගැනීමට හෝ ලබාදීමට කටයුතු කරන්න. ග්ලූකෝස් ස්වල්පයක් ලබා ගැනීම, සීනි දියකරන ලද වතුර ස්වල්පයක් එසේත් නැති නම් සීනි ටිකක්, චොක්ලට් කැබැල්ලක්, ටොෆි එකක් නැතිනම් ජෑම් ස්වල්පයක් ආහාරයට ගැනීම හෝ සීනි සහිත තේ කෝප්පයක් ලබාගැනීම තුළින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නැගීමට තුඩු දෙන ක්ෂණික පිළියම් යොදන්න.
ඔබ දියවැඩියා රෝගය සහිත අයෙක් යැයි කලින් හඳුනාගෙන තිබේ නම්, ඔබ සමීපයේ ඔබට එහා මෙහා ගෙන යෑමට අපහසුවක් නැති ටොෆියක් වැනි දෙයක් නිතර ළඟ තබා ගන්න. එවිට යම් අයුරකින් ඔබට මේ තත්ත්වය ඇතිවන්නේ මගතොටක යමින් සිටින අවස්ථාවක තම්, නොපමාව ඒ සදහා ප්‍රතිකර්මයක් ලෙස එය යොදාගත හැකිය. එවන් රෝග ලක්ෂණයක් මතු වූ අවස්ථාවක, ඔබ සතුව රුධිරයේ සීනි මැන බලන උපකරණයක් නැතිනම් ග්ලූකොමීටරයක් තිබේ නම්, එය ආධාරයෙන් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය මත බැලීමට කටයුතු කළ යුතුය. එසේ නැතිව වුවද අප සදහන් කඳ එම රෝග ලක්ෂණ මතු වූ අවස්ථාවල එය හයිපොග්ලයිසීමියා තත්වයක් ලෙස සලකා කටයුතු කළ යුතුය.
කෙසේ වෙතත් ඔබේ සරල ප්‍රතිකාරයෙන් විනාඩි දහයකින් පමණ පසු එම රෝග ලක්ෂණ පහව යනු ඇත. නමුත් එසේ විනාඩි දහයක් පමණ කාලයක් තුළ ඔබට දැනුණු හයිපොග්ලයිසීමියා ලක්ෂණ පහව නොගොස් පවතින්නේ නම්, ඔබ වහා ළගම ඇති රෝහල වෙත ඇතුළු විය යුතුය. මන්ද එය ඔබට තනිවම පාලනය කරගත නොහැකි තත්වයක් විය හැකි බැවිනි.
කෙසේ නමුත් අප ඉහතදී සදහන් කළ ආකාරයේ රෝග ලක්ෂණවලදී ඔබට සිහි නැතිවීමේ ලක්ෂණය මතු වූයේ නම් හෝ අපස්මාරය තත්වයක් (fitattah) ඇති වූයේ නම් කඩිනමින් රෝහලකට ඇතුළු කළ යුතුමය. මන්ද එම තත්වයට පත් රෝගියාට සේලයින් මගින් සිනි ලබාදීම අත්‍යවශ්‍ය බැවිනි. කෙසේ නමුත් සිහි නැතිවී සිටින රෝගියෙකුට නම් මුඛ මාර්ගයෙන් යම් යම් දියර ලබාදීමට උත්සාහ දැරීම නොකළ යුතු වනුයේ එය අනතුරුදායක පියවරක් වන බැවිනි. හයිපොග්ලයිසීමියා තත්වය ඇතිවීමට බලපානු ලබන ප්‍රධාන හේතු සම්බන්ධයෙන් දැන් ඔබ වඩාත් අවධානයක් දැක්වීම වැදගත් වනුයේ ඇතැම් හේතු ඔබගේ අතපසුවීම් හරහා මතුවීමට ඉඩකඩ ඇති නිසාය. ඔබ දියවැඩියා රෝගියෙකු නම් බොහෝ විට ඔබ ඉන්සියුලින් හෝ දියවැඩියා රෝගය සදහා ලබාදෙන පෙති නියමිත මාත්‍රාවෙන් ලබාගන්නවා විය හැකිය. නමුත් අතපසු වීමකින් හෝ අමතක වීමකින් ඔබ අතින් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් එම ඖෂධ භාවිතය සිදුවුවහොත්, එය අප මේ කියූ හයිපොග්ලයිසීමියා තත්වයට අත වැනීමකි.
නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීමද හයිපොග්ලයිසීමියා තත්වය මතු කරන්නට ඉඩකඩ සලසත්තකි. බොහෝ රෝගීන්ගේ හිතුවක්කාර ආහාර පාලනය වඩාත් භයානක යැයි අප මුලින්ම සිහිපත් කළේ එබැවිනි. ඉන්සියුලින් එන්නත ලබාගත් වහාම ආහාර අනුව කළ යුතුය.
ඉන්සියුලින් ලබාගෙන ආහාර නොගත සිටියහොත්, ඒ හේතූවෙක්ද හයිපොග්ලයිසීමියාව ඇතිවීමට අවශ්‍ය සාධක ගොඩනැගයි. ප්‍රධාන ආහාරවේල මගහැරීමද එවන්ම වූ හේතුවකි. සමහරු විවිධ හේත්තු දක්වා ආහාරවේල් මගහැරිම නිතර සිදුකරන්නකි. ආහාර සදහා ප්‍රියක් නොමැති වීම, නැතිනම් ආහාර ගන්නා වේලාව වන විට වැඩවල නිරතව සිටීම, නැතිනම් නින්දේ පසුවීම වැනි හේතු දක්වා ආහාරවේල් මගහැරිම මෙන්ම ආහාරයට ගත හැකි කිසිවක් නොමැති වීමද
එම හේතු අතර වෙයි. අධික ලෙස මත්පැන් භාවිතාව, සුපුරුදු ප්‍රමාණයට වඩා වැඩිපුර ව්‍යායාම් ආදියෙහි හෝ වෙහෙසවීම්වල නිරතවීම හයිපොග්ලයිසීමියාව මතුවීමට එක එල්ලේ බලපානු ලබයි. මේ නිසා හයිපොග්ලයිසීමියාවට බලපාන මෙම කරුණු අවම කර ගැනීම, මෙවන් අවස්ථාවකදී කටයුතු ද පිළිබද ඉහත දැක්වූ කරුණු පිළිබද හොද දැනුවත්භාවයක් ලබා සිටීම වඩා සුදුසුය. හයිපොග්ලයිසීමියා තත්වය නිසා මතුවන කෝමා තත්ත්වය දිගුකාලීන සංකූලතාවන්ට හේතු වන බව මතක තබාගත යුතුය.
(සටහන - නාලීකා රාජපක්ෂ)
0 Comments