අනියම් බිරිඳ සමග කැසිනෝ ගැසීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනාගාරවලට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්, ටැබ් යන්ත්‍ර හතක්, ස්මාර්ට් ජංගම දුරකතන හතක්, විදුලි උත්පාදක යන්ත්‍රයක්, රූපවාහිනි යන්ත්‍ර තුනක් පොලිස් භාරයට ගෙන ඇත.



මීට දින කීපයකට ඉහතදී මොරටුව ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිද රුපියල් ලක්ෂ 29කට අධික දේපළ තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සුපිරි වෙළඳසැලක සේවිකාවකට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් අඩු මුදලකට විකුණූ පුද්ගලයෙක් පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරක් අනුව එම පුද්ගලයා කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් රැසකට සම්බන්ධ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.



රාත්‍රි කාලයේදී තනිව ගොස් ඇඳුම් උනා දමා ප්‍රදර්ශනාගාරවල වහලයට නැග සෙවිලි ඉවත් කර ඇතුළු වී සොරකම් සියල්ල සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු ඒ ආකාරයෙන් වසරක කාලයක් තුළදී හලාවත, පාදුක්ක, අලව්ව, වේයන්ගොඩ ආදී ප්‍රදේශවලට දුම්රියෙන් ගොස් රාත්‍රි කාලයේ සොරකම් නවයක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ