මුහුදේ දින 17ක් තිස්සේ නවතා තබාගෙන සිටින බොරතෙල් නැව ගොඩබා මාසයකට පසු ඩොලර් ගෙවීමට හැකියාව තිබියදී නැවට ප්‍රමාද ගාස්තු ගෙවමින් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. පිරිපහදුව වසා දැමීම නිසා පිරිපහදුවෙන් දෛනිකව ලබාදුන්
ඉන්ධන ප්‍රමාණය මෙරටට ගෙන්වීමට සිදු වී තිබෙන බවත්, ඒ සඳහා ආසන්න වශයෙන් දිනකට ඩොලර් ලක්ෂ 03ක් පමණ වැය වන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.මීට අමතරව මුහුදේ තිබෙන මෙට්‍රික්ටොන් 99,000ක් සහිත බොරතෙල් නැව සඳහා දිනකට ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවත්, පිරිපහදු කටයුතු නවතා දැමුවත් සේවකයන් සේවයේ නිරතවන බැවින් සේවකයන්ට වැටුප් හා අතිකාල ගෙවීමටත් සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. පිරිපහදුව වසා තිබුණද යන්ත්‍ර උණුසුම් තත්ත්වයෙන් තබා ගැනීමට යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, අදාළ කටයුතු සඳහා ගබඩා කරගෙන සිටින ආරක්ෂිත බොරතෙල් වැය වන අතර, මේ සඳහාත් සැලකිය යුතු මුදලක් වියදම් වන බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
බොරතෙල් ගෙන්වන සමාගම් සමග සාකච්ඡා කර මාසයකට පසු ඩොලර් ගෙවීමේ පදනමින් එම මුදලට සරිලන රුපියල් ප්‍රමාණය ගිණුම්ගත කරන බවට පොරොන්දුවක් ලබාදී බොරතෙල් නැව ගොඩබා ගැනීමට හැකියාව තිබූ බවත්, මීට පෙරද ඒ ආකාරයට කටයුතු කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මීට අමතරව පවතින ක්‍රමවේදයන්ට අනුව බොරතෙල් ගොඩබා භාවිතයට ගන්නා විට ඩොලර් ගෙවීමේ ක්‍රමවේදයක්ද පවතින බවත්, එවැනි ආකාරයට කටයුතු කරනු ලැබුවේ නම්, අඩුම තරමින් දිනකට ගෙවන ඩොලර් එක්ලක්ෂ පනස් දහසේ ප්‍රමාද ගාස්තුව ඉතිරි කර ගැනීමට හැකියාව තිබූ බවත් ආනන්ද පාලිත මහතා සදහන් කළේය.
පිරිපහදුව වසා දැමීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නොවන බවත්, භූමිතෙල් විදේශ රටවලින් ගෙවීමට කටයුතු නොකරන නිසා ධීවර ජනතාව ධීවර යාත්‍රා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වන බවත් පවසා සිටි හෙතෙම, මීට අමතරව භූමිතෙල් ලිප් භාවිත කරන ජනතාව හා කෘෂි යන්ත්‍ර භාවිත කරන ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වන බවත් ප්‍රකාශ කළේය.
(එච්.අයි. තුෂාර)
0 Comments