borelasgamuwa-arrested

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාගේ විසි හැවිරිදි පුතා රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් ද සමග නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී පෙරේදා (10) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.අ.පො.ස. උසස් පෙළ විභාගයට ඉකුත් වසරේ පෙනී සිටි විසි හැවිරිදි මෙම සැකකරු රුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා මෝටර් රථයක් භාවිත කරන බවට ලද තොරතුරු අනුව වාහන දෙක පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු භාවිත කළ මෝටර් රථය බොරලැස්ගමුවේ පිහිටි ඔවුන්ට අයත් නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අධි සුබෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඔහුගේ මිතුරකුට අයත් වාහන අලෙවිසැලක සඟවා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.. මුදල් විශුද්ධිකරණ පනනේ සඳහන් වැරැදි සිදුකිරීම හේතුවෙන් සැකකරු වාහන දෙක ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.  ශිරාන් බාසික් නමැති පුද්ගලයා පාකිස්තානය සමග එක්ව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු බවත් හරක් කටා ඇතුළු මෙරට මහා පරිමාණ මන්කුඩු ජාවාරම්කරුවන් ඔහු හරහා  මෙරටට මත්කුඩු එවන බවත් එම නිලධාරියා කීවේය.



ශිරාන් බාසික් මොරටුව මහනගර සභාවේ කම්කරුවකුව සිට පසුව මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත්, අත්අඩංගුවට ගැනීමට සොයමින්  සිටියදී ඔහු 2018 වසරේ ඩුබායි රාජ්‍යය බලා පලාගොස් ඇති බවත් එම නිලධාරියා කීය.  ජීප් රථ දෙක සමග අත්අඩංගුවට ගෙන ඇති  සැකකාර පුතා වැල්ලවත්ත හා අවට ප්‍රදේශ කිහිපයක හෝටල් කිහිපයක්ද මිලදී ගෙන ඇති බවත්, එම හෝටල් මිලදී ගැනීම සඳහා ඔහු කර  ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ මුදල් උපයාගත් අන්දම මෙතෙක් හෙළි කර නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශිරාන් බාසික් නමැති පුද්ගලයා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම සහ විවිධ අයථා ක්‍රම මගින් මුදල් උපයා ගත්ත ද ඔහු දුගී දුප්පත් ජනතාවට විශාල වශයෙන් මුදල් හා ආහාර ද්‍රව්‍යවලින් උපකාර කරන බවත්, ඇස්වල පෙනීම දුබල රෝගීන්ට ඇස් කාච ලබා දීම, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන්, හෘද රෝගීන් සඳහා ඔහු විශාල වශයෙන් ආධාර ලබාදෙන බවත්  පොලිස් ආරංචි මාර්ග කියයි. මේ අතර ශිරාන් බාසික් නමැත්තාට ද එරෙහිව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන මුදල් විශුද්ධිකරණය යටතේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉන්දිකා රාමනායක