cow-australia-174

කෘෂිකර්ම අමාත්‍යාංශය කිරි ගවයන් ආනයනය කිරීමට ඕස්ට්‍රේලියානු සමාගමකට රුපියල් කෝටි 174 ක් ගෙවා ඇතත් කිසිදු කිරි ගවයකු මෙරටට ගෙන්වා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. කිරි ගවයන් ආනයනය කිරීම සඳහා 2018 දී ඇමෙරිකානු ඩොලර් හත්කෝටි තිස්නව ලක්ෂ පනස් හතර දහසක ණය මුදලක් අමාත්‍යාංශයට ලැබි ඇති බවද ඒ අනුව අමාත්‍යාංශය කිරි හරක් ආනයනය සඳහා ඕස්ට්‍රේලියානු බැංකු දෙකක් සහ ඕස්ට්‍රේලියානු සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමට නියමිතව තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.



ෙඑහි පළමු අදියර යටතේ කිරි ගවයන් පන්දාහක් ආනයනය කර ඇති අතර එම සතුන්ගේ සාර්ථකභාවය අනුව ඉතිරි 15,000 ආනයනය කිරීමට ගිවිසුම් අනුව එකඟ වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ. පළමු කිරි ගවයන් 5,000 ආනයනය කර ඇතත් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවද එසේ තිබියදී ඉතිරි කිරි ගවයන් 15,000 ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 174ක් අදාළ සමාගමට ගෙවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

එහෙත් මුලින් ආනයනය කළ කිරි ගවයන් 5000ට අමතරව කිසිදු කිරි ගවයකු ලංකාවට ආනයනය කර නැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් ද මේ දක්වා සිදුකර නැති බවත් විගණන වාර්තාවේ සඳහන් කර ඇත. මෙම එසේ වුවද කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 174ක් ඕස්ට්‍රේලියානු සමාගමට ගෙවා ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මුදිතා දයානන්ද