crypto-currancy-fraud

ක්‍රිප්ටොකරන්සි මිලදීගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මෙරට පුද්ගලයන් 8000ක් පමණ “පෝට් චේන්” නමැති පිරමිඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මේ දක්වා මෙරට පුද්ගලයන් රවටා රුපියල් කෝටි 1400 ක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

චීන ජාතිකයන් යුවළක් හා මෙරට පුද්ගලයකු එක්ව මෙම ජාවාරම 2020 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය. මෙම ජාවාරමේ මෙරට ප්‍රධාන සැකකරු වන ශමාල් කීර්ති බණ්ඩාර නමැත්තෙක් ඉකුත් 11 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති පුද්ගලයකු බවත්, ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි චීන ජාතික යුවළක් රටින් පලා යාමට සූදානම් වූ අවස්ථාවේ ඉකුත් 12 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය. මොවුන් තිදෙනා ක්‍රිප්ටොකරන්සි (ගුප්ත මුදල්) මිලදීගෙන පිරමිඩ ජාවාරම හරහා විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ආයෝජන සිදුකර ඇත. ඒ වෙනුවෙන් සකස් කළ පරිගණක මෘදුකංගයක් මොවුන් විසින් නිර්මාණය කර ඒ හරහා කිප්ටෝකරන්සි මිලදී ගෙන වැඩි ප්‍රතිලාභ ලබාගන්නා ලෙසට පෙන්නුම් කරමින් සහ එහි විවිධ ආකාරයේ ප්‍රතිලාභ ද පෙන්නුම් කරමින් මෙම සැකකරුවන් විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවද හෙතෙම කීය. පුද්ගලයන් ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීම සඳහා යම්කිසි මුදලක් ආයෝජනය කළ හොත් ඔවුන්ගේ එම මුදල් පස් ගුණයකින් වැඩිකර ප්‍රතිලාභ ඉහත මෘදුකාංගය හරහා පෙන්නුම් කරන බවත්, එලෙස වැඩි ප්‍රතිලාභ පෙන්නුවත් එම මුදල් හා ප්‍රතිලාභ ලබාගැනීමට ගිය අවස්ථාවේ එම මුදල් ලබාගැනීමට මුදල් තැන්පත්පත් කළ අයට අවස්ථාව හිමි නොවී ඇති බවද හෙතෙම කීය. ම

ේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ විමර්ශන අංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය. වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට ගොස් මේ ආකාරයේ ජාවාරම්කරුවන්ගේ මුදල් වංචාවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්ලුව මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය.


(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)