dambulla-incident

මාමණ්ඩියගේ ග්‍රහණයට නතු වූ තම බිරිඳ බේරා ගැනීමට ගිය යුද හමුදා සැමියකුට දිවි අහිමිවීමේ පුවතක් පෙරදා 08 වැනිදා රාත්‍රියේ හබරණ පලුගස්වැව සේනාදිරියාගම ප්‍රදේශයේ දී සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙසේ දිවි අහිමි වී ඇත්තේ කාරතිව් යුද හමුදා කඳවුරේ සේවය කළ හමුදා කෝප්‍රල්වරයකුවූ බී. ජී .අජිත් සෝමසිරි නමැති එක්දරු පියකු බව පොලීසිය කියයි. මිය ගිය එක්දරු පියකු වන38 හැවිරිදි හමුදා සෙබළා හිරුනහේන ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මීට දින තුනකට පමණ ඉහත දී තම බිරිඳ සමඟ බිරිඳගේ පියා පදිංචි වී සිටින සේනාධිරියාගම නිවෙසට පැමිණ ඇත්තේ බිරිඳගේ උප්පැන සහතිකය සකසා ගැනීමට බවත් පොලිසිය කියයි.



සෙබළාගේ බිරිඳගේ පියා කාලයක සිට තනිවම නිවෙසේ ජීවත් වන්නකු වන අතර දියණිය සහ හමුදා බෑනා වසර ගණනාවකින් මෙම ගම්මානයට හෝ මෙම නිවෙසට පැමිණ නැති බවත් පැමිණ ඇත්තෙද මෙම උප්පැන්න සහතිකය සකසා ගැනීමේ අවශ්‍යතාවට බවත් පොලිසිය කියයි. බිරිඳගේ පියා විවිධ අපරාධ සඳහා නිරන්තර යොමුවන්නකු බවත් අධිකරණ රැසක නඩු රැසක් පවතින ප්‍රධාන ගණයේ අපරාධ චෝදනාවලට ලක්වූවකු බවත් හබරණ පොලිසිය කියයි.සේනාදිරියාගම කුඩා කාමර දෙකක පියා ජීවත් වන බවත් එම නිවසේ මේ යුවළ ද නැවතී සිටින අවස්ථාවක හමුදා සෙබළ බෑනා සහ මාමණ්ඩිය අතර ගැටුමක් ඇති වී තිබෙන බවත් පොලීසිය කියයි.

මෙම ගැටුමේ දී බිරිඳගේ පියා පිහියකින් හමුදා සෙබළ බෑනාට පහර දී ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙන බවත් සැමියා බේරා ගැනීම සඳහා දියණිය උදැල්ලකින් පියාට පහර දී සැමියා නිවසේ සිට මීටර් එකසිය තිහක් පමණ දුරකට ප්‍රධාන මාර්ගයට ඇඳගෙන ඇවිත් තිබෙන බවත් පොලීසිය කියයි. පසුව ඇය 1990 හදිසි ගිලන් රථ සේවයට කතා කොට එහි සහයෝගය ලබාගැනීම සඳහා උත්සාහ කර තිබේ, 1990 ගිලන් රථ සේවයේ පිරිස පැමිණ පරික්ෂාකර බැලීමේ දී ඔහු මිය ගොස් ඇති නිසා ප්‍රධාන මාර්ගයේම සිරුර තබා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.




මෙම ගැටුමේ දී යුද හමුදා සෙබළාගේ බිරිඳට ද පියා විසින් පහරදීම් නිසා  තුවාල ලබා ඇය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර දියණියගේ පහරකෑමෙන් තුවාල ලැබූ පියා ද මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව හබරණ පොලීසිය කියයි. ප්‍රතිකාර ලබමින් සිටින පියා සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මේ වන විට යුද හමුදා පොලිසිය සහ හබරණ පොලීසිය එක්ව වෙනම පරික්ෂණ දෙකක් ආරම්භ කර ඇති බවත් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 09 වැනිදා පැවැත්වීමට නියමිතව බවත් හබරණ පොලීසිය කියයි.

 (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)