deepavali-death

දීපාවලී උත්සවය නිමිත්තෙන් තරුණයන් පිරිසක් පේදුරුතුඩුව වල්ලිපුරම් උබයකදිරගාමන් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක පැවැත් වූ මත්පැන් සාදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු වගා ළිඳකට වැටී දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පන්නංකාඩු ප්‍රදේශයේ පදිංචි සුසේන්ද කුමාර් සසිකාන් සහ පේන්දුරුතුඩුව මන්දිගෙයි ප්‍රදේශයේ පදිංචි ගනේෂලිංගම් ලැබෝසිගන් නමැති 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.



මෙම සාදය සදහා තරුණයන් 6 දෙනකු සහභාගි වී ඇති බවත්, ඔවුන් සියලු දෙනාම කුඩා කාලයේ සිට එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගත් පිරිසක් බවද පොලිසිය පවසයි. පෙරේදාට (24)ට යෙදුණු දීපාවලී උත්සහ නිමිත්තෙන් මොවුන් පස්වරුවේ උබයකදිරගාමන් ප්‍රදේශයේ වෙල්යායක මත්පැන් සාදයක් පවත්වා ඇති බවද පොලිසිය කියයි. නීති සිසුවකු, පොලිස් කොස්තාපල්වරයකු, ගුරුවරයකු, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම මිතුරන් පිරිස අතර සිට ඇති බව පොලිසිය කියයි. රාත්‍රි 7.00 ට පමණ මත්පැන් මදි වී මත්පැන් පානය නොකළ තරුණයන් දෙදෙනා මෙන් රැගෙන ඒමට යතුරු පැදියෙන් ගොස් ඇති බවත්, අනෙක් සිවුදෙනා එම වගා ළිඳ අසල නර්තනයේ නිරත වී ඇති බවත් පොලිසිය පවසයි.

නර්තනයේ යෙදී සිටි එක් තරුණයකු අසල පිහිටි වගා ළිඳට වැටී ඇති බවත්, ඔහු බේරා ගැනීමට තවත් තරුණයකු ළිඳට පැන ඇති බවත් අඩි 10 කට වඩා ගැඹුරු ළිඳ තුළ තරුණයන් දෙදෙනා ගිලී ඇති බවත් පොලිසිය කියයි. සාදයේ සිටි අනෙක් තරුණයන් දෙදෙනා අවට අයගේ උදවු ඉල්ලා කෑ ගසා ඇති බවත්,

එම කෑ ගැසීම ඇසී අවට පිරිස් පැමිණි තරුණයන් දෙදෙනා ගොඩගෙන පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔවුන් මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි. මියගිය තරුණයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පේදුරුතුඩුව රෝහලේ දී ඊයේ (25) පැවැත්වීමට නියමිතව තිබිණි.

කන්කසන්තුරේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් කොට්ඨහච්චි මහතාගේ උපදෙස් මත, පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, උපපොලිස් පරික්ෂක විරාජ් පෙමුත් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි. මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකර ඇතැයිද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඉන්දිකා රාමනායක