dengue-areas

මේ දිනවල පවතින අයහපත් කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක දහයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තිස්හයක් ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම් කර තිබේ.

අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, යාපනය, කල්මුණේ, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවලිනි.



ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානයේ දත්ත වාර්තාවලට අනුව ඊයේ (18 වැනිදා) වනවිට මෙරටින් ඩෙංගු රෝගින් පනස් නවදහස් තුන්සිය දාහත්දෙනකු වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගින් වැඩිම සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ මීගමුව රෝහලේ වන අතර, එම සංඛ්‍යාව හැට එකකි. තවද, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ රෝහල, පේරාදෙණිය රෝහල සහ රත්නපුර ඇතුළු රොහල් විසි අටක ඩෙංගු රෝගීහු වැඩි වශයෙන් නේවාසිකව ප්‍රතිකාර ගනිති.

පවතින තත්ත්වය මත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදු වියහැකි බව වෛද්‍යවරු පවසති. ඒ හේතුවෙන් දින තුනකට වඩා උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් නිවෙස් හා අවට පරිසරයේ පිහිටි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කළ යුතු බවත් සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම්දෙයි. 


 වරුණි පෙරමුණ