diana-gamage-disneyland
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය පිණිස ලෝකයේ දැනට ඉහළින්ම පිළිගැනෙන තේමා උද්‍යාන ජාලාවක් (Theme Park) වන ඩිස්නිලන්ත ශාඛාවක් ලංකාවේ මත්තල පිහිටුවීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා දැනටමත් වෝල්ට් ඩිස්නි සමාගම සමග සාකච්ඡා කර ඇති බවත්ය. ඒ ගැන ඇමරිකාවට ගොස් ඉදිරි පියවර සාකච්ඡා කරන්නට යන බවද ඇය කියා තිබුණි.


මෙම ආරංචිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල ඉහළින් පළවූ පසුව දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය ලංකාවට එනවා යයි ඉන්දියානු මාධ්‍ය තුළද විශාල රාවයක් පැතිරිණි.
ඩයනා මෙම කතාව ප්‍රතික්ෂේප නොකළ අතර ඇයගේ මාධ්‍ය අංශය යයි කියමින් මේ ගැන පළවූ ප්‍රවෘත්තිය තමා යැවූ එකක් නොවන බව පමණක් දන්වා සිටියාය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුව අතරතුර ඩිස්නි සමාගමේ ඇය සාකච්ඡා පැවැත්වූ පුද්ගලයින්ගේ නම්ද සඳහන් කිරීම නිසා මෙම පුවත නිවැරදි එකක් විය හැකි බවට අදහසක් මතුකර තිබුණි.
නමුත් ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම ආරංචිය තහවුරු කරගැනීම සඳහා ඇමරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගමේ
නිල නියෝජිතයෙකු හා සම්බන්ධවී ඇති අතර සන්ඩේ ටයිම්ස් කළ විමසීමකදී වෝල්ට් ඩිස්නි සමාගම පැවසුවේ ශ්‍රී ලංකාවේ උද්‍යානයක් විවෘත කිරීමට දැනට සැලසුම් නොමැති බවයි. එවැනි කිසිදු දෙයක් ගැන ඔවුන් දැනුවත් නැති බවද පවසා තිබේ.
වෝල්ට් ඩිස්නි සඳහා ආයෝජක සබඳතා මෙහෙයවන ඇලෙක්සියා ක්වඩ්‍රානි උපුටා දක්වමින් ඩයනා ගමගේ මහත්මිය මෙම ‘ඩිස්නිලන්ත කතාව‘ තහවුරු වන ආකාරයට පවසා තිබුණි.
හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන 16-18 ක ආයෝජනයක් අපේක්ෂා කරන බවද දන්වා තිබුණි.


ඩිස්නිලන්ත කතාව කෙප්පයක් බවට සන්ඩේ ටයිම්ස් දැනගත් පසු ඇයගෙන් විමසීමේදී
"ඔබ සම්බන්ධ කරගත්තේ කාවද?" යයි ඇය පුවත්පතින් අසා තිබේ.
ඉන්පසු ඇය මෙසේ පැවසුවාය: “මට කිසිම දෙයක් ගැන කිසිම තොරතුරක් දෙන්න අවශ්‍ය නැහැ. මම කිසිම කතාවක් දුන්නේ නැහැ. කවුරුහරි කතාව අරගෙන මාධ්‍යයට දාලා තියෙනවා.”
නමුත් ඔබ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ නැද්ද? නැවත පුවත්පත විමසා සිටි අතර එයට පිළිතුරු දුන් ඇය,
 “අනේ ඔව්, මම ඒක සඳහන් කළා... මම ඩිස්නිව ගේනවා කියලා.  නමුත් කවුද, කෙසේද, කවදාද, කුමක්ද සහ කොහේදැයි මම කීව්වෙ නැහැ. මම කිව්වේ මම එය සැලසුම් කර ඇති බව පමණයි. ලංකාවට ගෙන්වා ගැනීමට ඩිස්නි සමඟ සාකච්ඡා කරන බව විතරයි‘
 "ඔබ සාකච්ඡා ආරම්භ කළාද?"
ගමගේ මහත්මිය: "ඔව්."
 "කාත් එක්කද?"
ගමගේ මහත්මිය: “කවුද විෂය හසුරුවන්නේ... මට එය හසුරුවන්න දෙන්න. එය හරි ගිහාම ඔබ සියලු දෙනා දැන ගනීවි. බොහොම ස්තූතියි. ගිහින් එන්නම්."
 ඇය දුරකථනය විසන්ධි කළාය.

(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)