diga-mano-thondaman

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සහභාගි වීමත් සමග දමිළ දේශපාලන පක්ෂ අතර එකඟතාවක් සහ සාමූහිකතාවක් නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් මතුව තිබේ. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (30දා) හැටන්, දික්ඔය ඇන්ෆීල්ඩ් වතුයායේ විවෘත කෙරුණු අතර, ඒ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.

ඒහිදී අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට ලංකා  කම්කරු කොංග්‍රසය එකඟතාවකට පැමිණ ඇතත්, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වෙන් වෙන් වශයෙන් තරග කරන බවයි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා,



"අද මෙතන ඉන්න ගොඩදෙනෙකුට  ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම ඇයි මෙම උත්සවයට සහභාගි වුණේ කියලා මට මෙම උත්සවයට සහභාගි වෙන්න කියලා දමිළ ප්‍රගතිශීලී සන්ධානයෙන් ආරාධනාවක් ලැබුණා. එම ආරාධනාව අනුව මම මේ උත්සවයට ආවා. අපි වෘත්තීය සමිති විදිහට වෙන් වෙන්ව කටයුතු කරලා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා දමිළ ප්‍රගතිශීලී සන්ධානයත්, ලංකා කම්කරු කොංග්‍රසයත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා එකඟතාවකට ආවා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට එකට එකතු වෙලා කටයුතු කරන්න.

අපි මැතිවරණවලදි වෙන් වෙන්ව තමයි කටයුතු කරන්නේ. මගේ පියා මියගියාට පස්සෙ මට පාර්ලිමේන්තුවෙදි සහ දේශපාලන කටයුතුවලදි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පියෙක් වගේ පිටුපසින් හිඳගෙන මට උපදෙස් දුන්නා.  ඒ වගේම තමයි පලනි දිගම්බරම් මහතා මට අයියා කෙනෙක් වගේ එයත් මට උපදෙස්  දෙනවා. අපි සියලු දෙනා ශක්තිමත්ව කටයුතු කළොත් අපට ගොඩක් දේවල් දිනාගන්න පුළුවන්" යනුවෙන් කියා සිටියේය.



දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පැමිණීමත් සමග දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් සහ එම රැස්වීමට සහභාගි වී සිටි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
රංජිත් රාජපක්ෂ