doctor-maharagama-fire-house

ජල බස්නා කානුවක් සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදි යාමෙන් මහරගම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින වෛද්‍යවරයකුට අයත් නිවසක ගේට්ටුවකට වෙඩි තැබූ බව පැවසෙන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු, අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

මහරගම, නීලම්මහර, කොහිලකොටුව ප්‍රදේශයේ වෛද්‍යවරයකු විසින් ඉදිකරමින් පවතින නිවසක් හේතුවෙන් ජල බස්නා කානුවකට බාධා එල්ල වී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් හිටපු මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණි.

  ඒ අනුව මන්ත්‍රීවරයා ප්‍රදේශවාසීන් කිහිප දෙනකු සමග එම ස්ථානයට ගොස් නිවසේ ඉදිකිරීම් හේතුවෙන් ජල බස්නා කානුවකට බාධා එල්ල වී ඇති බැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙසට නිවස ඉදි කරන සේවකයන්ට දැනුම් දී ඇති බව පොලීසිය කියයි. එහෙත් ඊට අවශ්‍ය පියවර නොගැනීම නිසා ඊට උරණ වූ හිටපු මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ එම ස්ථානයට ගොස් එහි සේවකයන්ට බැන වැදී ගිනි අවියකින් නිවස ඉදිරිපිට රෝලඩෝ වර්ගයේ ගේට්ටුවකට සහ අහසට වෙඩි තබා ඇතැයි පැවසේ.

වෙඩි තැබීමෙන් නිවසේ කිසිවකුටත් හානි සිදුව නොමැති අතර, සිද්ධියෙන් අනතුරුව නිවස හිමි වෛද්‍යවරයා මහරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව කළ දැනුම්දීමකට අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මහරගම පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී වෙඩි තැබීමට භාවිතා කළ බව පැවසෙන විදේශ රටක නිෂ්පාදිත රික්වෙලර් වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. 

මෙම ගිනි අවිය බස්නාහිර පළාත් සභාව මඟින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ලබාදුන් විදේශ රටක නිෂ්පාදිත 3.8 වර්ගයේ පිස්තෝලයක් බවත් එය 2018/2019 වසරෙන් පසුව ලියා පදිංචි කර නොමැති එකක් බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරික්ෂණ පැවැත්වේ.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න